ආදරවන්තයින්ට විශේෂ පණිවිඩයක් - පෙබරවාරි 14 සවස 6.30ට
දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණය දිනාගත් මහනුවර රාත්‍රී වෙළෙඳ පොළ (Kandy Breeze Night Fest) ප්‍රේමවන්තයින්ගේ දිනය යෙදෙන මෙම 14 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් අනතුරුව සති කිහිපයක් නොපැවැත්වුණු මෙම රාත්‍රී වෙළෙඳ පොළ මෙවර ආරම්භ වන්නේ “මහනුවර නගරය ආලෝකමත් කරමු” යන තේමාව පදනම් කර ගනිමින්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු හෙළි විය.
එබැවින් මහනුවර යටිනුවර වීදිය කේන්ද්‍ර කර ගනිමින් එළඹෙන පෙබරවාරි මස 14 වැනි සෙනසුරාදා පස්වරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා වෙළෙඳ පොළ පැවැත්වීමට නියමිත බව සඳහන්.
මේ අතර ආණ්ඩුකාරවරයා කියා සිටියේ යටිනුවර වීදිය කේන්ද්‍ර කර ගනිමින් රාත්‍රී වෙළෙඳ පොළ ක්‍රියාත්මක වුවත් දෙස් විදෙස් ජනතාවගෙන් නගරය පිරීයාම හේතුවෙන් සෙසු වීදිවල පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන ද රාත්‍රි කාලය පුරා විවෘත කර තැබීමෙන් නගරයට මේ ඔස්සේ නව අලෝකයක් ලැබුණු බවයි.
එබැවින් සති අන්තයේ සෑම සෙනසුරාදාවකම වෙළෙඳ පොළ පැවැත්වීමට සැළසුම් කර ඇත.
එමෙන්ම මෙම අවස්ථාවට මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය, මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් සහ මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් ද සහභාගි වූ බව වාර්තා වේ.