විනිසුරු වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්
විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන ගත් එකක් නොව, රටේ පොදු යහපත උදෙසා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදීය.
මෙම සංශෝධනය සමස්ත අධිකරණ පද්ධතියේම පවතින ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක කෙරෙන පුළුල් ප්‍රතිසංස්කරණවල එක් කොටසක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි තීරණයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවධානය යොමු වූ අතර, ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරිණි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විමර්ශන, නඩු පැවරීම සහ අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධව ශක්තිමත් කළ යුතු බව සඳහන් කළේය.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊට අමතරව, අල්ලස් කොමිසමේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමටත්, අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමටත්, ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමටත් කටයුතු යොදමින් සිටින බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව පැවසූ අතර, අදාළ තීරණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කළහ.
කාලගුණයෙන් හදිසි නිවේදනයක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි සහ අකුණු අනතුරු ඇගවීම් - ඉදිරි පැය 36 සදහා කාලගුණය මෙන්න
මෙම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සහභාගී වූහ.