“වදකයන්ට මාව අමතක වුණාට මට වදකයෝ අමතක නැහැ” – ගෝඨාභයට එරෙහිව මාධ්‍යවේදියෙකුගේ රටම කතාවුන ආන්දෝලනාත්මක හෙළිදාරව්ව මෙන්න
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ තමන්ව හඳුනන්නේ නැති බවට කළ ප්‍රකාශයට විදේශගතව සිටින මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ප්‍රතිචාර දක්වා තිබේ.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ දීර්ඝ සටහනක් තබමින් ඔහු චෝදනා කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ තමන් සහ මාධ්‍යවේදී සනත් බාලසූරිය ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා තර්ජනය කළ බවයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට එරෙහිව පැවති විරෝධතාවකින් අනතුරුව මෙම කැඳවීම සිදු වූ බව ඔහු සඳහන් කර තිබේ.
එහිදී මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාරවලට විරෝධය පළ කරමින් තවදුරටත් උද්ඝෝෂණ සංවිධානය කළහොත් ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා අනතුරු ඇඟවූ බව ද පෝද්දල ජයන්ත පවසයි. එම හමුවට එවකට ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර සහ ලක්ෂ්මන් හුළුගල්ල ද සහභාගී වූ බව ඔහු සිය සටහනේ සඳහන් කර ඇත.
අදාළ තර්ජන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කොටුව පොලිසියට ගියද, එම පැමිණිල්ල භාරගැනීම පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවට ද ඔහු චෝදනා කරයි. ඉන් මාස කිහිපයකට පසු සුදු වෑන් රථයකින් තමන් පැහැරගෙන ගොස් දරුණු ලෙස පහරදුන් බවත්, එහිදී වම් පාදයට බරපතළ තුවාල සිදුවූ බවත් පෝද්දල ජයන්ත සිහිපත් කර තිබේ. එම සිදුවීමෙන් පසු දින 28ක් රෝහල්ගතව සිටීමටත්, මාස හයක් ඇඳට සීමා වී සිටීමටත් සිදු වූ බව පවසන ඔහු, අදටත් අර්ධ ආබාධිත තත්ත්වයෙන් පසුවන බව සඳහන් කර ඇත.
මේ අතර, මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් අතුරුදන්වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් පෝද්දල ජයන්ත හඳුනන්නේ නැති නමුත් බන්දුල පද්මකුමාර හඳුනන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පෝද්දල ජයන්ත සිය සටහන අවසන් කර තිබුණේ, “මට වධ හිංසා කළ අයට මාව අමතක වී තිබෙන්නට පුළුවන්. නමුත් මට වධ හිංසා කළ අයව මට අමතක වී නැහැ” යනුවෙන් සඳහන් කරමිනි.
https://www.facebook.com/share/p/14uHgi7Xaze/
"වදකයන්ට" මාව අමතක වුණාට...? මට "වදකයෝ" අමතක නැත...........!! ======================================== ලලිත් කුමාර වීරරත්න සහ කුගන් මුරුගානන්ද අතුරුදහන් කිරීමේ නඩුවේ සාක්ෂි දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ "පෝද්දල ජයන්ත" කවරෙක් දැයි නොදන්නා බව ප්‍රකාශකර තිබුණි. ගැටලුවක් නැත. එපමණක් නොව, මීට පෙර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී "කීත් නොයාර්" ද , වරෙක ලසන්ත වික්‍රමතුංග ද කවරෙක් දැයි ? (Who is Lasantha ?) ඔහු උද්දච්ච ස්වරූපයෙන් විමසා තිබුණි. ඉහත අමතක වීමේ රෝගය වැළදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුළු රාජපක්ෂ සනුහරේට පමණක් නොව, ශිරන්ති රාජපක්ෂගේ නැන්දම්මා "ඩේසි" ආච්චිගේ සිට අතු ඉති විහිදුණු නෑදෑ සනුහරේටමත් තමන් කළ කී දෑ කිසිවක්ම මතක නැත. විශේෂයෙන් සනුහරේ සතුකරගෙන තිබෙන මහා ධනස්කන්දය ලැබුණු විදිය ඒ අයට විශේෂයෙන් අමතක ය. ගෝඨාභය රාජපක්ෂගේ මතකය අවදිකරවීම පිණිස මහා පතරංගයක් ලිවීමට තරම් අනේක උදාහරණ ලයිස්තුවක් ඇතත්, එවකට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ මටත් , එහි සභාපති වූ සනත් බාලසූරියටත් අදාළ එක් උදාහරණයක් පමණක් ඉතා කෙටියෙන් මෙහි සටහන් කිරීමට කැමැත්තෙමි. ගෝඨාභයගේ කැදවීම සහ වෙනදේ බලාගමු'යි කළ සෘජු වාචික තර්ජනය.........!
========================================
මමත් , සනත් බාලසූරියත් එවකට සේවය කළේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ "දිනමිණ" සහ "සිළුමිණ" කර්තෘ මාණ්ඩලිකයන් ලෙස ය. ඊට අමතරව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සහ ලේකම් ලෙස ද අප කටයුතු කළ හෙයින් , එකල රාජපක්ෂලා විසින් දියත්කර තිබූ මහා මාධ්‍ය මර්ධනයට එරෙහිව දිගින් දිගටම දැඩි අරගලයක් කිරීමට අපට සිදුව තිබුණි. "ද නේෂන්" පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ "කීත් නොයාර්" එක් රාත්‍රියකදී සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට ලක්ව තිබුණි. කරු ජයසූරිය ඇතුළු බොහෝ දෙනකුගේ විශාල මැදිහත් විමකින් පසු එළිවෙන යාමයේදී අනේක වධ හිංසා පමුණුවා නිවස අසළට ගෙනවිත් දමා තිබුණි. අප එම පැහැර ගැනීමට එරෙහි එදිනම සියලුම මාධ්‍ය සංවිධාන , සිවිල් සංවිධාන එක්ව අරලියගහ මන්දිරය අභියස දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමු. ගෝඨාභය රාජපක්ෂට මේ උද්ඝෝෂනයේ සිදුවූ ප්‍රකාශ ගැන ඉහවහා කේන්ති ගොස් තිබුණි. එවකට ලේක් හවුස් සභාපති බන්දුල පද්මකුමාරට නියෝග කර තිබුණේ අප දෙදෙනා වහාම ඔහුගේ කාර්යාලයට කැදවා ගෙන එන ලෙසයි. බන්දුල පද්මකුමාර ඔහුගේ මෝටර් රථයෙන්ම අප දෙදෙනා කොටුව යුද හමුදා මූලස්ථානය අසළ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට (පසුව එම ඉඩම රාජපක්ෂලා විසින් කිංග්ස්බරි හෝටලයට විකුණා දැමීය) කැදවාගෙන ගියේ ය. "තමුසෙලා , උඹලා" යන වචන හැර අප ඇමතීමට ඔහුට වෙනත් වචන නොවීය. "වහාම ඔය උද්ඝෝෂණ කෙරිල්ල නැවැත්තුවේ නැත්නම් තමුසෙලාට වෙන දේ බලාගන්න පුළුවන්" යි ඔහු එහිදී ඉතා තදින් සපථ කළේ ය. බන්දුල පද්මකුමාරට අමතරව ගෝඨාභය සමග එහි ලක්ෂ්මන් හුළුගල්ල නමැත්තා ද ගෝඨාභයගේ මේසය ඉදිරිපිට අසුන් ගෙන සිටිය හ. ඉක්බාල්ගේ ආරක්ෂාව ඉවත් කළේ "මිග් 27 වංචාව හෙලිදරව් කළ නිසයි... ...........!
වෙනදේ කුමක්ද ? එය කරන්නේ කව්ද යන්නත් අප දෙදෙනා කළ වීමසීමට ගෝඨාභයගේ උත්තරය වූයේ " ආ ඒක අවශ්‍ය වෙලාවට ඒ ඒ තැන්වලින් සිදුවේවි " යන්නයි. මේ දෙබස් හුවමාරු අතරේ "Sunday Times" මාධ්‍යවේදි " "ඉක්බාල් අතාස්" වෙනුවෙන් අප ඊට පෙර සතියේ කළ උද්ඝෝෂණයක් සිහිපත් කර "උඹලා අර බල්ලා" වෙනවෙනුත් උද්ඝෝෂනය කළා ' යි බැණ වැදුණේ. අප ඔහු වෙනුවෙන් උද්ඝෝෂණයක් දියත් කළේ අධිකරණ නියෝගයක් මත ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව හදිසියේ ඉවත් කිරීමට එරෙහිව ය. ඔහුට එම පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ චන්ද්‍රිකා ජනාධිපති සමයේ හමුදා භට පිරිසක ගෙන්වූ ජීවත තර්ජනය නිසා අධිකරණ නියෝගයක් මතය. ගෝඨාභය රාජපක්ෂ ඉක්බාල් අතාස්ගේ ආරක්ෂාව ඉවත් කළේ මිග් -27 ගනුදෙනුව මුලින්ම රටට හෙළිදරව් කළ නිසා ය. ඔහුගේ ආරක්ෂාව ඉවත් කළේ ඇයි දැයි අප පෙරළා ප්‍රශ්න කළ අතර , ඔහු ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාව කිසියම් යුද මෙහෙයුමක් සැළසුම් කරන විට එම සැළැස්ම ඉක්බාල් අතාස් අකුරක් නෑර Dunday Times හී පළකරන බවයි. හමුදා කණ්ඩායම් මෙහෙයුමේ යෙදෙන විට යම් තැනක අසමත් වන්නේ ඉක්බාල්ගේ මේ වාර්තාකරණය නිසා යැයි සපථ කළේ ය. උඹලා උද්ඝෝෂණය කරන්නේ එහෙව් එකෙක් වෙනුවෙන් යැයි ඔහු ගුගුලේ ය. මා ගෝඨාභය ගෙන් විමසුවේ එක පැනයකි. වටමේස යුද සැලසුමට "ඉක්බාලුත්" වාඩිවෙනවාද ......?
ඔබ සහ හමුදාවේ ඉහළම පිරිස් එකම මේසයක වාඩිවී හදන යුද මෙහෙයුම් දැන ගැනීමට "ඉක්බාල් අතාස්" එම වටමේස සාකච්ඡාවේ අසුන් ගන්නවා ද ? යනුවෙනි. එහෙනම් ඉක්බාල්ට මෙහෙයුමේ තොරතුරු දෙන කෙනා අල්ලා ගන්නවා වෙනුවට ඉක්බාල්ගේ ආරක්ෂාව ඉවත් කිරීම විහිළුවක් බව , බන්දුල පද්මකුමාරත් , ලක්ෂ්මන් හුළුගල්ලත් ඉදිරිපිටදී අප ප්‍රකාශයක් කිරීම ගෝඨාභයගේ යකා ඉස්මුදුනට නැගීමට හේතුවි ය. "මුං කාට ජාතක වෙලා දැයි" ලක්ෂ්මන් හුළුගල්ල දෙස බලා ගෝඨාභය විමසුවේ අප දෙදෙනා උන්ගේ වහළුන් යැයි සිතා ගෙන විය හැකිය. "මුං කාට ජාතක වෙලාද......... ?"
"මුං කාට ජාතක වෙලා ද දන්නෑ....." යි ප්‍රකාශය අප දෙදෙනාගේ ද රතු ඉර පැන්නවීය. "මගේ අම්මට අකුරක් ලියා ගන්න බැරි වුණාට. තේ වත්තෙ දළු කැඩුවාට ඒ දුප්පත් මව්පියෝ අපි පදුරු පල්ලට පදුරු පල්ලට ජාතක කරල නෑ. ඒ වගේම අපේ අම්මා , තාත්තා ඔයාලගෙ මැද මුලෙන වළං සේදුවේත් නෑ..." යි තරයේ ප්‍රකාශ කළෙමි. එම ප්‍රකාශය කොට සනත් සහ මම ආරාක්ෂක අමාත්‍යාංශයෙන් පිටව කොටුව පොලිසියේ පැමිණිල්ලක් දැමීමට ගියද , පොලිස් ස්ථානාධිපතිවරයා නොමැති හෙයින් ආරක්ෂක ලේකම්ට විරුද්ධව දාන අපේ පැමිණිල්ල භාර ගත නොහැකි බව එහි සිටි අනෙක් නිලධාරීන් පැවැසී ය. සුදු වෑන් රථයකින් පැමිණ නුගේගොඩ ඇඹුල්දෙණියේදී මා පැහැර ගෙන ගොස් අති අමානුෂික වධ හිංසාවන්ට ලක්කර වම් පාදය කඩා බිද දැමිමේ ඉන් මාස කිහිපයකට පසුව ය. පුරා දින 28 ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවේත් , ඉන්පසු ඇවිදීමට නොහැකිව නිවෙසෙහි ඇදට වී මාස ,06 ක් දුක් වින්දේත් , අද අර්ධ ආබාධිතයකු ලෙස ජීවත් වන්නේත් ඔවුන් " අප්ෆ ජීවිතවලට "කරවන" ලද සහාසික අපරාධ හේතුවෙනි. එලෙස කරවන ලද අපරාධ ප්‍රමාණයේ සංඛ්‍යාව කොතෙක් ද යත් එම වධකයන්ට ඔවුන් " කරවූ" බොහෝ අපරාධ දැන් සහමුලින්ම අමතකවී තිබේ. (පෝද්දල ජයන්ත)