ජපානයේ විශාල පෙරළියක් - කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි
ජපානයේ දේශපාලන පෙරළි රැසක් මැද දැඩි කොන්සර්වේටිව් නායිකා සනේ ටකයිචි එරට ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වත්මන් ජපාන අගමැති ෂිගෙරු ඉෂිබාගේ සමස්ත කැබිනට් මණ්ඩලයම සිය ඉල්ලා අස්වීම භාර දී තිබෙන බව සඳහන්.
එසේම අද පස්වරුවෙන් පසුව සනේ ටකයිචි නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවනු ඇති බව ද පවසයි.
මේ අතර ඇයගේ LDP නායකත්ව තරඟයේදී ඇයගේ ප්‍රතිවාදීන් වූ දෙදෙනෙකුට, එනම් තොෂිමිට්සු මොටේගි සහ ෂින්ජිරෝ කොයිසුමි හට ප්‍රධාන විදේශ හා ආරක්ෂක අමාත්‍ය තනතුරු ලබා දීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
ඉකුත් 2024 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ඉෂිබාගේ කැබිනට් මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බහුතරය රඳවා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් දුර්වල වුණා.
ඒ අනුව අද පැවැත්වෙන විශේෂ සැසිවාරයේදී අගමැති ධුරයට ඡන්ද විමසීම සිදු වේ.
ඒ ඔස්සේ ටකයිචි, ඉල්ලා අස්වූ ෂිගෙරු ඉෂිබා වෙනුවට ආදේශ කිරීමට නියමිත බව සඳහන්.
ටකයිචිගේ පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය (LDP) දක්ෂිණාංශික හවුල්කාර පක්ෂයක් වන ජපාන නවෝත්පාදන පක්ෂය හා සන්ධාන ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව බලයේ රැඳී සිටීමට අවශ්‍ය සහයෝගය LDP පක්ෂයට ලැබී ඇත.
එහිදී LDP පක්ෂය බලය අහිමි වීමේ අද්දර සිටියදී ජපාන නවෝත්පාදන පක්ෂයේ (ඉෂින් ලෙසද හැඳින්වෙන) සම-නායක හිරොෆුමි යොෂිමුරා විසින් ටකයිචිගේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සහාය දැක්වීමට සිය පක්ෂය සූදානම් බවට අවසාන මොහොතේදී නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව මෙම සන්ධාන ගිවිසුම ඊයේ පස්වරුවේදී ටකයිචි සහ යොෂිමුරා විසින් වාර්තාකරුවන් ඉදිරියේදී අත්සන් තැබුවා.
යොෂිමුරා විසින් ඔවුන් එකට ඉදිරියට යා යුතු බව තමා ටකයිචිට පැවසූ බව සඳහන් කළා.
ටකයිචි යනු පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සභාපතිවරියයි.
ඇය අග්‍රාමාත්‍යවරිය වශයෙන් තේරී පත්වන්නේ විපක්ෂ බලවේග ඒකාබද්ධ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන්.
කෙසේ වෙතත් පළමු වටයේදීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට 64 හැවිරිදි මෙම කොන්සර්වේටිව් නායිකාවට හැකි වනු ඇති බවට බලාපොරොත්තු පවතී.
ඒ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ස්වාධීන මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පමණ ඇයට ඡන්දය දීමට සලකා බලමින් සිටීම හේතුවෙන්.
අග්‍රාමාත්‍යවරයා තේරීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ තේරීමට ප්‍රමුඛතාවය ලැබෙන බව සඳහන්.
මේ අතර දේශපාලන අභියෝග සහ කැබිනට් සංයුතිය LDP සහ JIP සන්ධානය බලවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයට මඳක් අඩුවෙන් සිටින අතර ඔවුන්ට මන්ත්‍රී මණ්ඩලයේද බහුතරයක් නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ටකයිචි, ආරක්ෂක උකුස්සෙක් සහ මූල්‍ය පරෙවියෙක් වශයෙන් හැඳින්වෙන අතර පනත් සම්මත කර ගැනීමට අනෙකුත් විපක්ෂ පක්ෂවල සහයෝගය ලබා ගැනීමට අපහසු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද පවසයි.
එසේම JIP පක්ෂය කැබිනට් තනතුරු දැරීමට බලාපොරොත්තු නොවන අතර, ඒ වෙනුවට අගමැතිවරයාට උපදේශක භූමිකාවක් ඉටු කිරීමට නියමිත බව සඳහන්.