ඕස්ට්‍රේලියානු නීතියට අභියෝග කළ ලොවක් කැළඹ වූ අපූරු මිනිසා

covid19 Australia vaccination Jekowch Tenis
By Sewvandhi Jan 10, 2022 07:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් ගේ වීසා අවලංගු කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් ගත් තීරණය යුක්ති සහගත නොවන බව එරට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර හිමිවේ. ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයා වන්නේ සර්බියාවේ නොවැක් ජොකොවිච් ය.

සිය 10වැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි ජොකොවිච් ට මුහුණ දීමට සිදුවූයේ බලාපොරොත්තු නොවූ ගැටලුවකටය.

වරක් කොවිඩ් ආසාදනය වී ඇති ජොකොවිච්, කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු විදේශිකයින් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බවට සහතික කළ යුතුය.

නමුත් වරක් කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන්, ඔහුට තරගාවලියට පැමිණීම සඳහා "සහනයක්" ලබාදීමට ඔස්ට්‍රේලියානු ටෙනිස් සම්මේලනය කටයුතු කළේය.

ඔවුන් පැවසුවේ ඒ සඳහා විද්වත් වෛද්‍ය කමිටුවල අනුමැතිය ලැබුණු බවය. නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණි පසු ජොකොවිච්ගේ වීසා අත්හිටුවීමට එරට බලධාරීන් ක්‍රියා කළේය.

එහෙත් එම තීරණයට එරෙහිව නීතියේ පිහිට පැතීමට ජොකොවිච් තීරණය කළේය. මේ වනවිට මෙල්බර්න් හි සංක්‍රමණයිකයින් රඳවා තබන ස්ථානයක රඳවා ඇති ටෙනිස් ශූරයාට නඩු කටයුත්ත නැරඹීමට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් විනිසුරුවරයා කටයුතු කර තිබුණි.

ජොකොවිච් ට වාසි සහගත ලෙස නඩු තීන්දුව ලැබුණහොත් ඔහුට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබෙනු ඇතිබව සමහරු පවසති. නමුත් ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ එම තීරණය නොසලකා කටයුතු කිරීමට ඔවුන්ට නීතිමය බලය ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now