ඊශ්‍රායලය වගේ රට රැකියාවකට යන්නද ඉන්නේ? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහජනතාවට නිවේදනයක් - මේ වගේ බොරුකාරයන්ට හසුවෙන්න එපා
ඊයේ (12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදීම එහි විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා හෝටල් ක්ෂේත්රයේ රැකියා ලබාදෙන බව පවසමින්, රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අය කරන බවට, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රට ලද තොරතුරක් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක කර තිබූ බවයි.
මෙම තොරතුර මත ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් කාර්යාංශයේ පළමු මහලේදී මෙම සැකකරුවන් දෙදෙනාව ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පළමු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 7ක් සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ. මොවුන් විසින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා, රැකියා ලබාදිය හැකි බවට විශ්වාසය ඇතිවන පරිදි සහ කාර්යාංශයේ නිලධාරීන් ලෙස හැඟී යන අයුරින් කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමේ නිරත වීම හේතුවෙන් කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම වී සිටින චාන්දනී මැණිකේ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බවද විමර්ශන නිලධාරීන්ට තොරතුරු වාර්තා වී ඇත.
එම කාර්යාංශය සඳහන් කළේ මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාළ අංශවල සේවය කරන නිලධාරීන්ගෙන් පමණක් සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙසත්, එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිලධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙසත් කාර්යාංශය මහජනයාගෙන් ඉල්ලා සිටියි. එසේම, කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිදු පුද්ගලයෙකු සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසද කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.