හෝමූස් සන්ධියේ සාකච්චාව වෙන අතකට හැරෙයි - මෙන්න විස්තරේ
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත නව රාජ්‍යතාන්ත්‍රික යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. පවතින දැඩි අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා ඉදිරිපත් වූ මෙම යෝජනාවේ විශේෂත්වය වන්නේ, වඩාත් මතභේදාත්මක වී ඇති න්‍යෂ්ටික සාකච්ඡා පසුවට කල් දමා අනෙකුත් ප්‍රධාන ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබීමයි. ඉරාන නායකත්වය තුළ න්‍යෂ්ටික සහන ලබාදීම සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර මතභේද හේතුවෙන් සාකච්ඡා අතරමග ඇනහිට තිබේ.
මෙම නව යෝජනාව හරහා එම බාධකය මගහැර, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරවා ගැනීමටත් අමෙරිකානු නාවික අවහිරතාව ඉවත් කරවා ගැනීමටත් ඉරානය උත්සාහ කරයි. පාකිස්තාන මැදිහත්කරුවන් හරහා ඉදිරිපත් කර ඇති මෙම සැලසුම මඟින් සටන් විරාමය දීර්ඝ කාලයකට පවත්වා ගැනීමට හෝ යුද්ධය ස්ථිරවම අවසන් කිරීමට ද යෝජනා කර ඇත.
කෙසේ වෙතත්, න්‍යෂ්ටික සාකච්ඡා මගහැර නාවික අවහිරතාව ඉවත් කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන යුද අරමුණු දෙකක් වන ‘යුරේනියම් තොග ඉවත් කිරීම’ සහ ‘යුරේනියම් සපෝෂණය අත්හිටුවීම’ සඳහා පවතින බලපෑම අවම කරන්නකි. මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා අද (සඳුදා) සිය ඉහළ පෙළේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කණ්ඩායම ‘සිචුඒෂන් රූම්’ වෙත කැඳවා තිබේ.
පසුගිය ඉරිදා ෆොක්ස් නිව්ස් නාලිකාවට අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයේ තෙල් අපනයනය අඩාල කර ඇති නාවික අවහිරතාව තවදුරටත් දැඩිව පවත්වාගෙන යන බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ ඇමෙරිකානු නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් අතර පාකිස්තානයේදී පැවැත්වීමට තිබූ හමුව ජනාධිපති ට්‍රම්ප් විසින් අවලංගු කිරීමත් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් පිරිහී ගොස් ඇත.
ඉරාන නියෝජිතයන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් පැය 18ක ගුවන් ගමනක නිරත වීමේ පලක් නොමැති බව ට්‍රම්ප් අවධාරණය කළේය. මේ අතර, ඉරාන විදේශ අමාත්‍යවරයා ඕමානය සමඟ සාකච්ඡා පවත්වා යළි පාකිස්තානය බලා ගොස් ඇති අතර, අද දින ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හමුවීමට ද නියමිතය. ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් ප්‍රකාශ කළේ ඇමෙරිකාව පුවත්පත් හරහා සාකච්ඡා පවත්වන්නේ නැති බවත්, සියලු බලතල තමන් සතු බැවින් ඇමෙරිකානු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වන ගිවිසුමකට පමණක් එළඹෙන බවත්ය. කිසිලෙසකත් ඉරානයට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොදෙන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.