ඔබත් මෙම රෝගයෙන් පෙළෙන්නේද..එසේ නම් කොවිඩ් ආසාදිත වුවහොත් ඔබ කළ යුත්තේ මෙයයි..
වකුගඩු රෝගියකු කොවිඩ් ආසාදිතයකු බවට පත්වූ වහාම එම ආසාදිතයා වකුගඩු ප්‍රතිකාර ලබාගන්නා සායනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වඩාත් වැදගත් බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සහ මාලිගාවත්ත ජාතික රුධිර කාන්දුකරණ සහ බද්ධ කිරීමේ ආයතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පවසනවා.
ආසාදිතයාගේ සායනයෙන් ලැබෙන උපදෙස් අනුව ආසාදිතයා නිවෙස් නිරෝධානයට සුදුසුද නැද්ද යන්න පිළිබඳ තීරණයට එළඹිය හැකි බවත්, රුධිරකාන්දුකරණයට හෝ පරිතානකාන්දුකරණ ලක් කළ රෝගීන් ඇතුළු ඕනෑම වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගන්නා රෝගියකු වුවද එන්නත ලබාගත යුතු බවයි වෛද්‍යවරයා පැවසුවේ.
වකුගඩු රෝගියා නිවසේ සිටියදී සෙසු සාමාජිකයන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑම වැනි දේ වන්නේ නම් රෝගියා නිවසේම සිටීමෙන් පළක් නොවන බවත්, නිවසේ වකුගඩු රෝගියකු සිටින්නේ නම් සෙසු අය සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වඩාත් වැඳගත් බව සඳහන් කළා.
එමෙන්ම,බස් රථවලින් පළාත් මායිම් වෙතට ළඟා වී අනෙක් පළාත් වෙත පා ගමනින් යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් අරම්භ කර තිබෙනවා.
එසේ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හා ඊට අනුබල දෙන බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.
පොදු ප්‍රවාහන සේවා වලට හෝ අතවශ්‍ය සේවා හැර අන් කිසිවෙකුට පළාත් මායිම් හරහා ගමන් කළ නොහැකි බව ඔහු පැවසුවා. සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළාත් මායිම් වල විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර සියලු අතුරු මාර්ග, පාලම් ආවරණය වන පරිදි මාර්ග බාධක, පොලිස් සංචාර යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 54,889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩව සිදුකෙරෙන බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර බස්නාහිර පළාත තුළ මාර්ග බාධක 12ක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යවන ලද වාහන ගණන 330ක් බව පොලිස් මුලස්ථානය පවසයි. එමෙන්ම පුද්ගලයින් 635ක් ද එලෙස අවසර නොමැතිවීමෙන් ආපසු හරවා යවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |