නව පොලිස්පති පත්කිරීම ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Police spokesman Sri Lanka Police Parliament of Sri Lanka Dinesh Gunawardena Dullas Alahapperuma
By Aruna Jul 07, 2023 06:13 AM GMT
Aruna

Aruna

Report

නව පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය ගණනාව තුළ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නව පොලිස්පතිවරයා පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී පොලිසියට අදාළ සේවා කටයුතු ඒ ඒ පළාත්වල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සිදුකරගෙන යන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය පසුගිය ජුනි 26 වනදා අවසන් වුණා.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද රජය විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.

කෙසේවෙතත් මේ වන විට නව පොලිස්පති ධූරය සඳහා නම් කිහිපයක්ම ඉදිරිපත් වී තිබෙන අතර, ඒ අතරින් කවුරුන් පොලිස්පති ලෙස පත් කරන්නේද යන්න තීරණය ඉදිරි පැය ගණනාව තුල දී දැනගත හැකි බවයි දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් දක්වමින් කියා සිටියේ, ජනාධිපතිවරයා විසින් සිදු කරන නව පත් කිරීම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු බවත්, ව්‍යවස්ථා සභාව රැස්වීම ලබන සතියෙන් පසුව සිදුවීම හරහා මෙම පත් කිරීම තවදුරටත් කල්මරමින් සිටින බවයි.