ඉන්දීය උප ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) කොළඹදී පැවැත්විය.
මෙම හමුවේදී දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
ඉන්දීය උප ජනාධිපතිවරයා අද උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සමඟද හමුවී සාකච්ඡා පැවැත්වීය.
සංචාරය අතරතුර, සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවේ නායකයන් හා උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලන නායකයන් සමඟද අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.
එමෙන්ම, කොළඹදී පැවැත්වෙන ප්‍රජා උත්සවයකදී මෙරට වසන ඉන්දීය ප්‍රජාව ඇමතීමටද ඔහු සැලසුම් කර ඇති අතර, ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ නිවාස ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මකව පිරිනැමීමද සිදු කිරීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම සංචාරය දෙරට අතර පැවැති මෑත රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්වල අඛණ්ඩ පියවරක් වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන ශිෂ්ටාචාරමය හා ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.