වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට - දින තුනක් පුරා තීරණාත්මක සාකච්ඡා
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණ තිබේ. දහවල් 1.25ට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බව වාර්තා වේ.
රාජ්නාත් සිං මහතා අද සිට ලබන 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.
පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසුව වීම විශේෂත්වයකි.