ඉන්දියා යන ලාංකිකයන්ට ලැබුණු විශේෂ සහනය - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිල නිවේදනයක්

Report

 ඉන්දියාව බලා යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා වීසා ගාස්තු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැහැදිලි කර තිබේ.

නියමිත සුදුසුකම් සපුරාලන වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ (Gratis) වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද එහි සඳහන් වේ.

සිකුරාදා (24) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලාංකිකයන්ට කඩිනම් හා කාර්යක්ෂම වීසා සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සලසා දෙන බවයි.

ජනාධිපති මන්දිරයේ 3,089ක් ලැගුම් ගත්තාද? PMDයෙන් ඇත්තම කතාව මෙන්න

ජනාධිපති මන්දිරයේ 3,089ක් ලැගුම් ගත්තාද? PMDයෙන් ඇත්තම කතාව මෙන්න

සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට ඉන්දියාවේ ඊ-වීසා (e-Visa) පහසුකමද භාවිත කළ හැකි බව එහි සඳහන් කර ඇත.

මහ කොමසාරිස් කාර්යාලය හරහා වීසා සඳහා අයදුම් කරන ශ්‍රී ලාංකිකයන් කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව පිහිටි ඉන්දීය කොන්සියුලර් අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) හරහා සිය මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු වන්දනා ගමන් සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ වීසා අයදුම්පත් ප්‍රමුඛතාව ලබා දෙමින් කඩිනමින් සකස් කරන බවද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය මත, සාමාජිකයන් 10 දෙනෙකු හෝ ඊට වැඩි වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ වීසා නිකුත් කෙරේ.

වීසා බාහිර සේවා සපයන ආයතනයේ වෙනසක් හේතුවෙන් මෙම නොමිලේ වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, 2026 ජූලි 7 වැනිදා සිට නව සේවා සපයන්නෙකු සිය කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම පහසුකම යළි ක්‍රියාත්මක කර ඇති බවද නිවේදනයේ සඳහන් වේ.

වන්දනා වීසා සඳහා වන ඉල්ලීම් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කළ යුතු බව මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙයි.

පුද්ගලයන් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායමක් ලෙස අයදුම් කළ හැකි අතර, ඉන්දීය රජයේ නව රෙගුලාසි අනුව ජෛවමිතික දත්ත (Biometric) ලබාදීම සඳහා කණ්ඩායමක් ලෙස හෝ තනි තනිව ICAC මධ්‍යස්ථාන වෙත පැමිණීම අනිවාර්ය වේ.

කෙසේ වෙතත්, ජෛවමිතික ලියාපදිංචිය අනිවාර්ය වන්නේ වයස අවුරුදු 12 සිට 70 දක්වා වූ අයදුම්කරුවන් සඳහා පමණි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පහසුව සඳහා, ජෛවමිතික දත්ත ලබාගැනීමේ කඩිනම් විශේෂ ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති අතර, එමඟින් ඔවුන්ගේ රැඳී සිටීමේ කාලය අවම කිරීමට පියවර ගෙන ඇත.

රට ගියපු ඔයාට සුබ ආරංචියක් - ආයේ ලංකාවට එන දවසට රජයෙන් ඉඩමක් ජනපතිගෙන් විශේෂ නියෝගයක්

රට ගියපු ඔයාට සුබ ආරංචියක් - ආයේ ලංකාවට එන දවසට රජයෙන් ඉඩමක් ජනපතිගෙන් විශේෂ නියෝගයක්

නියමිත ක්‍රියාවලිය අනුව අයදුම්පත් ඉදිරිපත් කරන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගෙන් වීසා ගාස්තුවක් අය නොකරන අතර, ICAC මධ්‍යස්ථානය මඟින් සපයන සේවාවන් සඳහා පමණක් රුපියල් 1,855ක සේවා ගාස්තුවක් ගෙවිය යුතු බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.