රුපියල් ලක්ෂ ගණනක් වටිනා නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සහ එය ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ලොරි රථයක් නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබේ.
නොරාච්චෝලේ, පනිඅඩිය ප්‍රදේශයේදී ඊයේ (13) මෙම වැටලීම සිදුකර ඇත්තේ වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා 'විජය' ආයතනයට ලද තොරතුරකට අනුව නොරොච්චෝල පොලීසිය ද සම්බන්ධ කර ගනිමිනි.
එහිදී අදාළ ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී, එහි අසුරා තිබූ උර 38 ක් තුළ තිබී කිලෝග්‍රෑම් 1,464 කට අධික බීඩි කොළ තොගයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලීසිය වෙත භාර දී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා නොරොච්චෝල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.