පළාත් සභා මැතිවරණයට පිට රටින් අපිට බලපෑම් කරන්න බෑ - ලාල් කාන්ත
පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට විදේශීය රටවලට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් නොමැති බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බැවින් විදේශයන්ට මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි වුවද බලපෑම් කළ නොහැකි බවත්, ගන්නෝරුවේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය ජනතාවගේ කිසිදු විරෝධයක් නොමැති බවත්, මෙය ජනතාව ලබාදුන් ජනවරමට අදාළව සිදුකරන කාරණයක් බැවින් එම සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකරන බවත්ය.
මෙයට විරෝධය පළ කරන්නේ නීතිඥ ප්‍රජාව සහ එක්තරා පිරිසක් පමණක් බව ද හෙතෙම කියා සිටියේය. එමෙන්ම පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණ ගැටලුව නොමැති නම් මැතිවරණය පැවැත්වීමට රජයට කිසිදු බාධාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, අදාළ තාක්ෂණික හා නීතිමය ගැටලු කඩිනමින් විසඳා ගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.