දවසකට තේ, කෝපි මෙච්චරක් බිව්වොත් මොනා වෙයිද කියලා දන්නවද?
එක එක දවසට අපිට එක එක ලෙඩ ගැන ඇහෙනවානේ.
ඒ අතරේ කෙනෙකුට වයස්ගත වීමේදී ඇතිවන ඩිමෙන්ශියාව (Dementia) හෙවත් මතකය අඩුවීමේ රෝගය ගොඩක් අය මේ වෙන කොටත් අහලා ඇති.
හැබැයි මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න මොනවද කරන්න ඕනේ කියලා නොදන්න අයට තමයි මේ ලිපිය.
මෑතකදී වාර්තා වුණ පරීක්ෂණයකින් දිනපතා කෝපි හෝ තේ පානය කිරීම මේ වයස්ගත වීමේදී ඇතිවන ඩිමෙන්ශියාවට සුදුසු බව ඔන්න හොයා ගෙන තියෙනවා.
විදෙස් මාධ්‍ය මේ ගැන වාර්තා කරන්නේ JAMA (Journal of the American Medical Association) සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයක් උපුටා දක්වමින්. ඒ අනුව දවසකට කෝපි කෝප්ප 2-3 ක් පානය කරන පුද්ගලයන්ට ඩිමෙන්ශියාව වැළඳීමේ අවදානම 18% කින් පමණ අඩු බව සොයාගෙන තියෙන බව වාර්තා වෙනවා.

ඒ වගේම දවසකට තේ කෝප්ප 1-2 ක් පානය කරන්නන් අතර මෙම අවදානම 14% කින් පමණ අඩු වී ඇති බවත් සඳහන් වෙනවා.
සඳහන් වෙන විදිහට කැෆේන් සහිත (Caffeinated) පාන වර්ගවලින් පමණක් මේ වාසිය ලැබෙන අතර හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ (Harvard Medical School) වෛද්‍ය ඩැනියෙල් වැන්ග් ඇතුළු පර්යේෂණ කණ්ඩායම මඟින් වසර 40 කට වැඩි කාලයක් පුද්ගලයන් 130,000 කට අධික සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කරමින් මෙය නිගමනය කර ඇති බව කියනවා.
ඒ වගේම මේ පාන වර්ගවලින් ඔබේ මොළය ආරක්ෂා වන්නේ කොහොමද කිව්වොත්,
ශරීරයේ ඇතිවන ප්‍රදාහයන් (Inflammation) සහ ඔක්සිකාරක ආතතිය (Oxidative stress) අඩු කිරීමට මේවා උපකාරී වෙනවා.
ග්ලූකෝස් පරිවෘත්තීය - සීනි පාලනය සහ රුධිර නාලවල ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
ස්නායු සන්නිවේදනය - කැෆේන් මඟින් මොළයේ පණිවුඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකියි.

කොහොම නමුත් ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙයත් කිසියම් නිර්ණායක කිහිපයක් මූලික කරගෙන ඉදිරිපත් කරන ලද වාර්තාවන් බැවින් මින් ඩිමෙන්ශියාව නතර වන බවට ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බවයි.
එනිසා සෞඛ්‍ය සම්පන්න බව රැකගන්නා ගමන් මෙම පානයන් වැඩිපුර පානය කිරීමෙන් වළකින ලෙසටත් උපදෙස් දෙනවා.
ඔවුන් කියන විදිහට ඇතැම් විට එය නොසන්සුන්තාවය හෝ නින්ද නොයාම වැනි ගැටලු ඇති කළ හැකියි.
කොහොම වුණත් තේ, කෝපි නිතරම බොන අය මේ හැමදේම ගැන අවධානය යොමු කරන එක කොයි එකටත් හොඳයි.
