රු.2000 ආසන පටි මිල රු.7000ක් වුණේ කෙසේදැයි - ඇමතිත් වැඩේට බහී
රුපියල් 2000ක මිලකට පැවති ආසන පටිවල මිල මේ වන විට රුපියල් 5000ත් 7000ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවත්, මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, සභා නායක හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
පොදු ප්‍රවාහන සේවා සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇති අතර, අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනයක් (31) නිකුත් කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම ප්‍රකාශය ඔහු විසින් පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී කරන ලදී.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි. අධිවේගී මාර්ගවල ගමන් කරන පාසල් බස් රථ, කාර්යාල සේවා බස් රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ආසන පටි සැකසීමට මාස තුනක කාලයක් ලබාදෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
ආසන පටිවල මිල රුපියල් 2000 සිට 5000-7000 දක්වා ඉහළ යාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂා කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
දුර ගමන් සේවා බස් රථ සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට ජනතාවගේ මතය විමසූ බවත්, බහුතරයකගේ කැමැත්ත මත ඉදිරියේදී මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. Citra Innovation Lab ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකින් මගීන්, රියදුරන් හා පෞද්ගලික බස් රථ හිමියන් 2100කගේ දත්ත රැස්කර ඇති අතර, ඒ සම්බන්ධ වාර්තාවක් ද ලබාදී ඇත.
ත්‍රිරෝද රථ, වෑන් රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ රියදුරන් සඳහා සුභසාධන අරමුදලක් සැකසීමේ කටයුතු අවසන් කර ඇති බවත්, ඒ සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
අධිවේගී මාර්ගවල ගමන් කරන බස් රථ ගාල් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බවත්, දුම්රිය සේවය හා වරාය යාවත්කාලීන කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට අනුකමිටු දෙකක් පත්කළ බවත් කාරක සභාව පෙන්වා දුන්නේය.
කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සහ එහි පිළිසකර කිරීම් අවසන් කිරීමට සම්බන්ධව ද සාකච්ඡා විය.
