බස් රථ වල ගමන් කරන්නන්ට නරක ආරංචියක් - බස් වර්ජනය දිගටම
හොරණ සිට අංක 120 මාර්ගය ඔස්සේ කහතුඩුව අධිවේගී පිවිසුම හරහා පිටකොටුව දක්වා ධාවනය කිරීම සඳහා නව බස් රථ දෙකකට මාර්ග බලපත්‍ර නිකුත් කිරීමට එරෙහිව පසුගිය දෙවනදා ආරම්භ කළ බස් වර්ජනය විසඳීම සඳහා පැවති සාකච්ඡා අසාර්ථක වී ඇත. හොරණ සහ කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ හිමියන් විසින් ක්‍රියාත්මක කළ මෙම වර්ජනය අවසන් කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සමග බත්තරමුල්ල කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
බස් සංගම් නියෝජිතයෝ පවසන්නේ එම සාකච්ඡාව සඳහා වර්ජිත බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් හතළිස් දෙනෙකුට අධික පිරිසක් සහභාගී වුවද ධනාත්මක එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවයි. මේ හේතුවෙන් සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඊයේ දිනයේදී තෙවන දිනටත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා බිඳ වැටී මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියහ. මගීන්ගේ ගමනාගමන පහසුව වෙනුවෙන් ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන තිබුණද, උදෑසන කාර්යාල සහ රැකියා සඳහා පිටත්ව යන විශාල මගී පිරිසට එය ප්‍රමාණවත් නොවීම ගැටලුව තවදුරටත් උග්‍ර කිරීමට හේතු විය.
ප්‍රධාන මාර්ගයේ බස් රථවලට අමතරව හොරණින් ගමන් ආරම්භ කරන අතුරු මාර්ගවල ධාවනය වන බස් රථද මෙම වර්ජනයට සහාය පළ කරමින් පෙරේදා සිට ධාවනයෙන් ඉවත්ව තිබීම නිසා හොරණ බස් නැවතුම්පොළේ බස් රථ 300කට අධික සංඛ්‍යාවක් අඩපණව පැවති බව එහි ස්ථාන භාර නිලධාරීවරයා තහවුරු කළේය. දැනට මෙම මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ 32ක් සහ සාමාන්‍ය පෞද්ගලික බස් රථ 54ක් ධාවනය වෙමින් පවතින පසුබිමක, අධිවේගී පිවිසුම ඔස්සේ නව බස් රථ දෙකක් එක් කිරීමත් ඉදිරි 28 වනදා තවත් බස් රථ හයක් සඳහා ටෙන්ඩර් මගින් අවසර ලබා දීමට කටයුතු කර තිබීමත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට මූලික හේතුව බව බස් හිමිකරුවෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා ප්‍රකාශ කළේ රජයේ වගකීම ජනතාවට පහසුකම් සැලසීම බවත්, තමන් ගමන් ගන්නා බස් රථය තීරණය කිරීමේ අයිතිය මගියා සතු බවත්ය. දැනට ධාවනය වන සුඛෝපභෝගී බස් රථවල පවා මගීන් හිටගෙන ගමන් කරන තත්ත්වයක් පවතින බැවින් නව බස් රථ දෙක ඉවත් කිරීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බවත් මෙම තීරණයෙන් අඩියක් හෝ පස්සට නොගන්නා බවත් සභාපතිවරයා දැඩිව අවධාරණය කළේය. වර්ජනයේ නිරත පිරිසට තම යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත්, වෘත්තීය සමිති චෝදනා කරන ආකාරයේ අලුත් බස් රථ හයක් ධාවනයට එක් කිරීමට හෝ ඒ හා සමාන කිසිදු අදහසක් හෝ තමන්ට නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.