පතලක දරුණු පිපිරීමක් - 16ක් ජීවිතක්ෂයට - තවත් කම්කරුවන් පතල ඇතුළේ හිරවෙලා
ඉන්දියාවේ මේඝාල ප්‍රාන්තයේ නැගෙනහිර ජෙයින්ෂියා හිල්ස් දිස්ත්‍රික්කයේ පිහිටි නීතිවිරෝධී බවට සැක කෙරෙන ගල්අඟුරු පතලක සිදු වූ දරුණු පිපිරීමකින් අවම ලෙස කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එරට වාර්තා සඳහන් කළේ අද දින තන්ග්ස්කු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.
එසේම මේ වන විට මළසිරුරු 16ක් සොයාගෙන ඇති බව පොලිස් අධිකාරී විකාශ් කුමාර් ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව තවත් කම්කරුවන් කිහිප දෙනෙකු පතල තුළ සිරවී සිටින බවට සැක කෙරෙන අතර ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.
එමෙන්ම පොලිසිය ප්‍රකාශ කළේ මෙම මුදාගැනීමේ කටයුතු සඳහා ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර බලකායේ සහාය ඉල්ලා ඇති නමුත්, එම කණ්ඩායම තවමත් පැමිණ නොමැති බවයි.
ගල්අඟුරු කැණීම් කටයුතු අතරතුරදී මෙම පිපිරීම සිදුවී ඇති අතර, මෙම ස්ථානය නීතිවිරෝධී ආකාරයට පවත්වාගෙන ගිය පතලක් බවට ද සැක කෙරේ.
කෙසේ වුවත් මෙතෙක් පිපිරීමට නිශ්චිත හේතුව අනාවරණය වී නොමැත. පාරිසරික හානිය සහ ආරක්ෂක අවදානම් සලකා බලමින්, 2014 වසරේදී ජාතික හරිත විනිශ්චය සභාව මඟින් මේඝාලය තුළ ‘මී උගුල්’ ක්‍රමයට පතල් කැණීම සහ අනෙකුත් විද්‍යාත්මක නොවන ක්‍රමවේදයන් තහනම් කර ඇත.
එසේම එවැනි ක්‍රමවලින් ලබාගන්නා ගල්අඟුරු නීතිවිරෝධී ආකාරයට ප්‍රවාහනය කිරීම ද සීමා කර ඇත.
‘මී උගුල්’ කැණීම යනු කම්කරුවන්ට ඇතුළු වී ගල්අඟුරු ලබාගැනීමට හැකි වන සේ හාරන ලද, සාමාන්‍යයෙන් අඩි 3-4ක් පමණ උසැති ඉතා පටු උමං මාර්ග වේ.
ඒ අනුව මෙම තිරස් උමං තුළට යා හැක්කේ එක් අයෙකුට පමණක් බැවින් ඒවාට ‘මී උගුල්’ යන නම භාවිත වන බව පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය ද මෙම තහනම තහවුරු කර ඇත. එමෙන්ම පතල් කැණීමට අවසර ලබා දුන්නේ පාරිසරික ආරක්ෂණ විධිවිධාන සහිතව විද්‍යාත්මක හා නියාමනය කරන ලද ක්‍රියා පටිපාටි යටතේ පමණක් බව ද සඳහන්.