වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය උඩු දුවයි, විශේෂඥ වෛද්‍ය ඒකක 164ක් අකර්මණ්‍යයි
වෛද්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍ය ඒකක එකසිය හැට හතරක (164) සේවාවන් අකර්මණ්‍ය වීම නිසා රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ .
වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී ‘වෛද්‍ය සේවාවක්’ ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් දින අටක් තිස්සේ ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් විශේෂඥ වෛද්‍යවරු ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට ඊයේ (02 වැනිදා) සිට කටයුතු කර තිබේ .
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කළේ නිර්වින්දන සේවාවන්, ශල්‍යාගාර සේවාවන්, ප්‍රසව හා නාරිවේද සේවාවන් ඇතුළු විශේෂඥ වෛද්‍ය සේවාවන් රැසක් ඊයේ (02 වැනිදා) සිට රෝහල්වල සිදු නොවූ බවයි.
මේ හේතුව නිසා රෝහල් සායනික කටයුතු සඳහා පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවට ලක්විය.
තවදුරටත් එතුමා සදහන් කළේ පිටතින් ඖෂධ මිලදී ගැනීමට තුණ්ඩු නිකුත් නොකිරීම, පිටත රසායනාගාරවලින් පරීක්ෂණ කර ගැනීමට නිර්දේශ නොකිරීම, දේශපාලනික ප්‍රවර්ධනය සඳහා සෞඛ්‍ය කඳවුරුවලට වෛද්‍යවරුන් සහභාගි නොවීම ඇතුළු කාරණා මුල්කර ගනිමින් දින හතක් තිස්සේ ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යන බවයි.
රජයේ රෝහල්වල නිර්වින්දන, වකුගඩු, මානසික, විකිරණ, ප්‍රසව හා නාරිවේද යන අංශවල විශේෂඥ වෛද්‍යවරු සාමාන්‍යයෙන් වෙනත් රෝහල්වල ආවරණ රාජකාරි විශාල ප්‍රමාණයක් දිනකට සිදුකරන බවත්, එම කටයුතුවලින් විශේෂඥ වෛද්‍යවරු ඉවත්වීම බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවත් එතුමා පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාළව දින අටක් ගතවී ඇතත් රජය මේ දක්වා කිසිම ආකාරයක මැදිහත්වීමක් සිදු කර නොමැති බවයි.