සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක සැලසුම් සහගත මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වාග් චිකිත්සක තනතුර සඳහා උපාධිධාරීන් 52 දෙනෙකු සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමටත්, විකිරණ ශිල්පී තනතුර සඳහා වන අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවට උපාධිධාරීන් 64 දෙනෙකු ඇතුළත් කර ගැනීමටත් පියවර ගෙන තිබේ.
ඊට අදාළ පත්වීම් සහ බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවයට එක්වන සෑම පුද්ගලයෙකුම සාමාන්‍ය රාජ්‍ය තනතුරකට පත්වීමක් ලබන අයෙකු ලෙස නොව, ජනතාවගේ ජීවිත සුවපත් කිරීමට, ජීවිතයක් බේරා ගැනීමට සහ නීරෝගී සමාජයක් බිහිකිරීමට දායක වීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙම පත්වීම සැලකිය යුතු බවයි.
සෞඛ්‍ය සේවාවේ පවතින මානව සම්පත් අවශ්‍යතාව සපුරාලීම සඳහා මේ වන විට කඩිනම් බඳවා ගැනීම් මෙන්ම සුදුසු උසස්වීම් ලබාදීමේ කටයුතු ද සිදුකරමින් පවතින බවත්, වර්තමානයේ සෞඛ්‍ය සේවාව පුළුල් කරමින් යන බැවින් මෙම බඳවා ගැනීම් අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, වත්මන් රජය මෙරට ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීම් සිදුකරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන විට ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ට තවත් වැටුප් හා දීමනා ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදන කිසිදු අයුරකින් අඩු නොකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, නවීන තාක්ෂණය, වෛද්‍ය උපකරණ සහ ගොඩනැගිලි පහසුකම් සෞඛ්‍ය පද්ධතියට අඛණ්ඩව ලබාදෙන බව පැවසීය.
විශේෂයෙන්ම, ජාතික හෘද රෝහලේ ඉදිකිරීම් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙම වසර තුළ ආරම්භ කර වසර තුනක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, රජයේ රෝහල් පද්ධතිය සතුව දැනට පවතින හෘද කැතීටකරණ ඒකක සංඛ්‍යාව 10 සිට 26 දක්වා වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.