ඔබ බලාගන හිටපු දවස මෙන්න- සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) ||| වන ශ්‍රේණියේ පුරප්පාඩු 1,989 ක් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබූ අතර, ඊට අදාළ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පළමු අදියර අද (21) කාසල්වීදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරම්භ කර ඇත.
සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) තනතුර සඳහා දැනට පුරප්පාඩු පවතින දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කරනු ලබයි
ඉහත තනතුර සඳහා අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය වන විට අයදුම්පත් 92,000 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණ බව සදහන් වේ .
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, බස්නාහිර පළාතෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් 2800 ක් අද (21) සහ හෙට (22) මෙම ව්‍යුහගතසම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ .
ඒ අනුව ඉහත තනතුරට බඳවා ගැනීමට අදාළව ඉරිදා (24) දින දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දී සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට ද නියමිතව ඇත.
දීර්ඝ කාලයකට පසු පුර්ණ විනිවිධ භාවයකින් යුක්තව සියලු පළාත් නියෝජනය වන පරිදි සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) ||| වන ශ්‍රේණියේ බඳවා ගැනීම් ක්‍රමවත්ව හා කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ අනුව කටයුතු සැලසුම් කර තිබේ .
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන 02 ක් ඇතුළුව විෂයන් 06 ක් සමත් වී තිබීම, හෝ තනතුරට අදාළ ක්ෂේත්‍රයක NVQ 3 මට්ටමක වෘත්තීය සුදුසුකමක් ලබා තිබීම, වයස අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි වීම සහ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සහ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සම්මුඛ පරීක්ෂණ සඳහා මූලික සුදුසුකම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම බඳවා ගැනීම් හේතුවෙන් රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල පවතින සේවක හිඟයට කඩිනම් විසඳුම් මෙන්ම දැනට සිටින කාර්ය මණ්ඩලයේ සේවා බර අවම වීමට ද හේතු වෙයි .