පාර්ලිමේන්තුව උණුසුම් කළ අර්චුනාගේ හැසිරීම- "මෙහෙම අයට පාර්ලිමේන්තුවේ ඉන්න දෙන්න බෑ" - සභානායක බිමල් රත්නායක
සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඔහු මානසික රෝගයකින් පෙළෙන බව දන්නා බැවින් මෙතෙක් ඉවසීමෙන් කටයුතු කළ බව පැවසීය.
එහෙත්, තවදුරටත් එවැනි හැසිරීම් ඉවසිය නොහැකි බවත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව එවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව අත්හිටුවීමේ පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
"මන්ත්‍රී අර්චුනාගේ හැසිරීම පාර්ලිමේන්තුවේ විනයට නොගැළපෙන ආකාරයකින් සිදුවෙමින් පවතී. ඔහුගේ තත්ත්වය පිළිබඳව අප දැන සිටි බැවින් මෙතෙක් ඉවසීමෙන් කටයුතු කළා. නමුත් මෙම අශිෂ්ට හැසිරීම තවදුරටත් පිළිගත නොහැකියි.
ඒ අනුව, ස්ථාවර නියෝග යටතේ අවශ්‍ය පියවර ගත යුතුයි," යනුවෙන් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට මන්ත්‍රීවරයෙකුට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.