පැමිණිල්ලක් කිරීමට පොලිසියට ආ බාලවයස්කාර දැරියට අත් වූ අහස පොළොව නුහුලන ඉරණම..

Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Sep 04, 2024 10:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පැමිණිල්ලක් කිරීමට පැමිණි බාලවයස්කාර දැරියක රවටා දූෂණය කිරීමේ වරද ඇතුළු අධිචෝදනාවන්ට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා බරපතළ වැඩසහිත වසර 45ක සිරදඬුමක් නියම කර තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් වූ අධිචෝදනා තුනක් සඳහා එක් එක් චෝදනාවට බරපතළ වැඩසහිතව අවුරුදු 15 බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එකවර ගෙවන පරිදි එම දඬුවම් නියම කළේය. මෙයට අමතරව වින්දිත දැරියට රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙස හා එය නොගෙවන්නේ නම් දඩයක් ලෙස අයකර ගැනීමට නියම කළේය. දඩය නොගෙවන්නේ නම්, බරපතළ වැඩසහිත වසර 2ක සිරදඬුවමක් පැනවුයේය.

මෙම දඬුවම්වලට අතිරේකව වැරදිකරුට රු10,000ක දඩ මුදලක් නියම කර එය නොගෙවන්නේ නම් මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළේය. මෙලෙස සිරදඬුවම් නියම වුයේ ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වන දෙදරු පියෙකුටය. විත්තකරු ගල්කිස්ස පොලීසියේ, විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල්වරයෙකු ලෙස සේවය කර ඇති අතර, වින්දිත බාලවයස්කාර දැරිය අසල්වැසි කාන්තාවකට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට මව සමග පොලීසියට පැමිණ තිබුණි.

එහිදී කොස්තාපල්වරයා පැමිණිල්ල ගැන විමර්ශනය කිරීමට බව පවසා, දැරියගෙන් දුරකථන අංකය ඉල්ලා ගෙන තිබේ. පසුව දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් හටගෙන ඇති අතර විත්තිකරු දැරිය සමග කිහිපවරක් කායික ඇසුරක් පවත්වා ඇත. පසුව විවාහ පොරොන්දුව කඩකර ඇති අතර, ඒ ගැන සිත්තැවුලට පත් දැරිය ඖෂධ අධිමාත්‍රාවක් ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

එහිදී විත්තිකරු වින්දිත දැරිය රෝහල්ගත කර ප්‍රතිකාරවලට යොමු කර ඇත. බාලවයස්කාර දැරියගේ මව්පියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමෙන් පසු, සිදුකළ විමර්ශනයකින් අනතුරුව නඩුපැවරීම සිදුකර තිබුණි. 2012 වසරේ ඔක්තෝබර් 11 වන දින හෝ ආසන්න දිනයකදී බාලවයස්කාර දැරියක දූෂණය කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 22, 195 සහ 364 යන වගන්ති යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

නඩු විභාගයේ දී පැමිණිල්ල විසින් වින්දිත දැරිය හා ගල්කිස්ස පොලීසියේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති අතර, මීට අමතරව අධිකරණ වෛද්‍ය සාක්ෂි ද ඉදිරිපත් කර තිබේ. විත්තිකරු නඩු විභාගයේ දී සාක්ෂිදෙමින් දැරිය සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගත්තේ, කායික සංසර්ගයක් ඇති කරගැනීමේ අදහසින් නොවන බවත් විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙන් බවත් ප්‍රකාශ කර සිටියේය.

තමා අදාළ නිවසට ආ ගිය බව පිළිගත් විත්තිකරු අදාළ ප්‍රේම සබඳතාවය දෙපාර්ශවයේම වැඩිහිටියන් දැන සිටි බව පැවසීය. සිය පෙම්වතිය මුස්ලිම් ජාතික තැනැත්තියක බව දැනගැනීමෙන් පසු තමාගේ මව්පියන් එයට විරුද්ධ වීම නිසා වෙනත් කාන්තාවක් සමග විවාහ වූ බව චූදිතයා පැවසීය. ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නා අවස්ථාවේ දී අදාළ තැනැත්තිය බාලවයස්කාරියක බව තමා දැන නොසිටි බව විත්තිය කියා සිටියේය.

අධිකරණ වෛද්‍යවරයාගේ හා පැමිණිල්ලේ අනෙකුත් සාක්ෂි මඟින් සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල සනාථ කර ඇති බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා, චූදිතයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා තුනටම වරදකරු කළේය. රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා පැමිණිල්ල මෙහෙයවීය.