ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් - වාහන ධාවනයට වේග සීමා - ලෝක බලවතාත් ඉන්ධන හිඟයෙන් බැට කයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඇතිවිය හැකි දැඩි ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යය පුරා ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් මෙන්ම වාහන ධාවනය සඳහා උපරිම වේග සීමාව පැයට සැතපුම් 50ක් (50mph) දක්වා සීමා කිරීමේ හදිසි සැලැස්මක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම RAC මෝටර් රථ සංගමයේ දත්ත වලට අනුව එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වීම හමුවේ බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක සාමාන්‍ය සිල්ලර මිල පෙන්ස් 199.05ක් දක්වාත්, පෙට්‍රල් ලීටරයක් පෙන්ස් 174.04ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
ඒ අනුව මෙම තත්ත්වය හමුවේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල ඉක්මවා යාමේ අවදානමක් මතුව ඇති අතර පසුගිය ජූලි මාසය වන විට බ්‍රිතාන්‍යය සතුව පැවතියේ දින 42 කට පමණක් ප්‍රමාණවත් ඩීසල් සංචිතයක් වන අතර, එය සංවර්ධිත රටවල් අතර ඕස්ට්‍රේලියාව හැරුණු විට වාර්තා වූ අවම තෙල් සංචිතය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම එරට පුවත්පත් වාර්තා වලට අනුව බ්‍රිතාන්‍යයේ ‘ජාතික හදිසි ඉන්ධන සැලැස්මට’ (NEP-F) අනුව, දරුණු සැපයුම් අර්බුදයකදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රතිපාදන රැසක් ඇති බවයි.
එම සැලැස්මට අනුව,
- හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව: නම් කරන ලද ඉන්ධන පිරවුම්හල් හරහා ගිලන් රථ, පොලිස් රථ ඇතුළු හදිසි සේවා සහ පොදු ප්‍රවාහන සේවාවලට ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සැපයීම.
- වාණිජ සැපයුම් දාම සුරැකීම: ආහාර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි බෙදාහැරීම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වාණිජ ප්‍රවාහන රථ වෙත ඩීසල් සැපයීමට ඉන්ධන සමාගම්වලට නියෝග කිරීම.
- පාරිභෝගික සලාක ක්‍රමය (උපරිම මිලදී ගැනීමේ සීමා): සියලුම රියදුරන්ට යම් ප්‍රමාණයකින් හෝ ඉන්ධන සහතික කිරීම සඳහා සාමාන්‍ය පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය සීමා කිරීම සහ පිරවුම්හල් විවෘතව තබන වේලාවන් සීමා කිරීම.
- වේග සීමා පැනවීම: රට තුළ පවතින ඉන්ධන පරිභෝජනය සහ ඉල්ලුම සැලකිය යුතු ලෙස අවම කිරීමේ අරමුණින් දිවයින පුරා උපරිම රිය ධාවන වේගය පැයට සැතපුම් 50ක් දක්වා අඩු කිරීම.
බ්‍රිතාන්‍ය බලශක්ති සුරක්ෂිතතා දෙපාර්තමේන්තුව පවසන්නේ 1976 බලශක්ති පනත ප්‍රකාරව රජයට හිමිවන මෙම හදිසි බලතල ක්‍රියාත්මක කරනු ලබන්නේ රට තුළ අතිශය බරපතළ ඉන්ධන හිඟයක් නිර්මාණය වුවහොත් පමණක් බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, බ්‍රිතාන්‍යය සතුව මේ වන විටත් නම්‍යශීලී සැපයුම් ජාලයක් පවතින අතර, ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සහ දේශීය ඉන්ධන කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවයි.