ආයෝජකයන්ට සුබ පණිවුඩයක් - කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ගනුදෙනු අද (28) පෙරවරුවේ ඉහළ යමින් ආරම්භ වී තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 30.69කින් හෙවත් සියයට 0.15කින් ඉහළ ගොස් ඒකක 21,068.04ක් ලෙස සටහන් විය.
එමෙන්ම වඩාත් ද්‍රවශීලී S&P SL20 දර්ශකය ද සියයට 0.15කින් එනම් ඒකක 8.69කින් ඉහළ ගොස් ඒකක 5,949.41ක් ලෙස සටහන් වී තිබේ.
ASPI දර්ශකයේ ඉහළ යාමට LOLC Finance, Hayleys, Dialog Axiata සහ Commercial Bank සමාගම්වල කොටස් මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. LOLC Finance කොටසක් සියයට 1.92කින් ඉහළ ගොස් රුපියල් 5.30ක් ලෙසත්, Hayleys කොටසක් සියයට 0.89කින් ඉහළ ගොස් රුපියල් 227.00ක් ලෙසත් සටහන් විය.
Dialog Axiata කොටසක් සියයට 0.43කින් ඉහළ ගොස් රුපියල් 46.60ක් වූ අතර, Commercial Bank කොටසක් සියයට 0.25කින් ඉහළ ගොස් රුපියල් 204.50ක් විය.
මේ අතර SMB Finance කොටසක් සියයට 9.09කින් පහළ ගොස් රුපියල් 1.00ක් ලෙස සටහන් වූ අතර, Melstacorp සියයට 0.41කින් සහ Hemas Holdings සියයට 0.32කින් පහළ ගොස් තිබේ.
වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 57.56ක් ලෙස වාර්තා වී තිබේ. එහිදී විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා අංශය රුපියල් මිලියන 7.61ක පිරිවැටුමක් සමඟ ඉදිරියෙන් සිටි අතර, බැංකු අංශය රුපියල් මිලියන 7.03ක පිරිවැටුමක් වාර්තා කර තිබේ.
මේ අතර, Vidullanka PLC සමාගම සඳහන් කර ඇත්තේ, පවතින භූමියේ ස්ථාපිත සූර්ය බලශක්ති බලාගාර සමඟ ඒකාබද්ධ කළ මෙගාවොට් 18.7ක / මෙගාවොට් පැය 93ක බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ස්ථාපිත කිරීම සඳහා තම කොටස් හිමිකාරීත්වය ඇති ව්‍යාපෘති සමාගම් ජයග්‍රාහී ලංසු ඉදිරිපත් කර ඇති බවයි.
මෙම ව්‍යාපෘති හතර සඳහා විදුලංකා සමාගමේ ඇස්තමේන්තුගත කොටස් ආයෝජනය රුපියල් මිලියන 600ක් පමණ වන බවද සමාගම සඳහන් කර තිබේ.