හම්බන්තොට ජාත්‍යන්තර වරාය බහාලුම් ඒකක මිලියනයේ කඩඉම පසු කරයි
නව ගැන්ට්‍රි දොඹකර මෙහෙයුම් ආරම්භ කළ 2025 වසරේ සිට මේ දක්වා බහාලුම් ඒකක මිලියනයකට වැඩි ප්‍රමාණයක් හැසිරවීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමත් වී ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) නිවේදනය කරයි.
එම සමාගමේ නවතම වාර්තාවලට අනුව, 2025 වසරේදී බහාලුම් ඒකක 428,036ක් සහ 2026 වසරේ මේ දක්වා කාලය තුළ බහාලුම් ඒකක 574,196ක් වශයෙන් වසර දෙක තුළ සමස්ත බහාලුම් 1,002,232ක් හසුරුවා ඇත.
2026 අප්‍රේල් මාසයේදී MSC Marie Leslie නෞකාව හරහා බහාලුම් 13,260ක් හසුරුවමින් තනි නෞකාවකින් වැඩිම බහාලුම් ප්‍රමාණයක් හැසිරවීමේ වාර්තාව ද, ජූනි මාසයේදී බහාලුම් 80,325ක් හසුරුවමින් ඉහළම මාසික වාර්තාව ද තැබීමට වරාය සමත් විය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා සඳහන් කළේ, නැව් සමාගම් සමඟ පැවති සමීප සබඳතා, මෙහෙයුම් විශ්වසනීයත්වය සහ කඩිනම් පාරිභෝගික සේවාව මෙම වර්ධනයට ප්‍රධාන හේතු වූ බවයි.
ඉදිරියේදී බහාලුම් මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව දොඹකර, නැංගුරම් පහසුකම්, බහාලුම් අංගන සහ ශීතකරණ පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.