“මිනිසුන් පීඩාවට පත්වෙලා” - ගාන්ධිගේ සාමයේ මූලධර්ම අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගෙන් ඉල්ලීමක්
වර්තමානයේ ලොව පුරා බෙදීම්, ගැටුම් සහ ආතතීන් ඉහළ යමින් පවතින පසුබිමක මහත්මා ගාන්ධි විසින් පෙන්වා දුන් සාමය, අවිහිංසාව සහ සංවාදයේ මූලධර්ම යළි සිහිපත් කරමින් ඒවා අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.
ඔක්තෝබර් 2 වැනිදාට යෙදුණු ගාන්ධි ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සමරන ජාත්‍යන්තර අවිහිංසා දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
ගාන්ධි සිය ජීවිතය පුරා සාමයේ මූලධර්ම අත් නොහරිමින් ගැඹුරු සහ දිගුකාලීන වෙනසක් ඇති කළ හැකි ආකාරය පිළිබඳ ආදර්ශයක් ලබාදුන් බව ගුටරෙස් පෙන්වා දී තිබේ.
අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමේදී පීඩනය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රතිරූපණය කිරීම වෙනුවට සංවාදය සහ අවිහිංසාව භාවිත කර අවබෝධය ගොඩනැගීම, මිනිස් ගෞරවය ආරක්ෂා කිරීම සහ ස්ථිර වෙනසක් ඇති කිරීම ගාන්ධිගේ මඟපෙන්වීම බවද ඔහු සඳහන් කර ඇත. “මිනිසුන් පීඩාවට පත්වෙමින් සිටිනවා. දුප්පත්කම සහ අසමානතාවය සමාජයේ ඇති අය සහ නැති අය අතර බෙදීම තවදුරටත් පුළුල් කරමින් තිබෙනවා,” යනුවෙන් ගුටරෙස් පවසා තිබේ.
එමෙන්ම සාමය සහ සංවර්ධනය සඳහා පදනම් වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිය, රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ සංවාදය නොසලකා හරින තත්ත්වයක් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වා දී ඇත.
මෙවැනි අවස්ථාවක ගාන්ධි සිය ජීවිතයෙන් පෙන්වා දුන් ධෛර්යය, සංවේදී බව, ගෞරවය සහ පොදු මනුෂ්‍යත්වය යළි සිහිපත් කරමින් සංවාදය හා රාජ්‍යතාන්ත්‍රිකත්වය හරහා බෙදීම් සමනය කර, අවිහිංසාව ඔස්සේ සාමකාමී ලෝකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කර තිබේ.
මේ අතර, ජාත්‍යන්තර අවිහිංසා දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් ‘සාමය සහ සංවර්ධනය සඳහා මාර්ගයක් ලෙස අවිහිංසාව’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබේ.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත හරිෂ් පාර්වතනේනි සඳහන් කර ඇත්තේ, ගාන්ධිගේ ‘සර්වෝදය’ සංකල්පය වර්තමාන ලෝකයේ සියලු දෙනා ඇතුළත්, සාධාරණ සහ තිරසර සංවර්ධනයක් සඳහා පවතින අවශ්‍යතාව සමඟ ගැළපෙන බවයි.
දේශගුණික අර්බුදය ඇතුළු වර්තමාන ගෝලීය අභියෝග හමුවේ ගාන්ධිගේ පරිසර හිතකාමී අදහස්ද වැදගත් වන බව ඔහු පෙන්වා දී තිබේ.
ආයුධ සන්නද්ධ ගැටුම්, දේශගුණික අර්බුදය, අන්තවාදය, තාක්ෂණික වෙනස්කම් සහ වර්ධනය වන අසමානතාව වැනි අභියෝග හමුවේ ගාන්ධිගේ අවිහිංසාවේ මූලධර්ම ගැටුම් විසඳීම, සමාජ සහජීවනය, පරිසර සංරක්ෂණය සහ ගෝලීය සහයෝගීතාව සඳහා මඟපෙන්වීමක් ලබාදෙන බවද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බහුපාර්ශ්විකත්වය සඳහා සාමය ප්‍රධාන පදනමක් වන බව පෙන්වා දෙමින්, “සාමය කරා යන මාර්ගයක් නොමැත. සාමයම මාර්ගයයි” යන ගාන්ධිගේ ප්‍රකට අදහසද ඔහු සිහිපත් කර තිබේ.