වසර 25ක බදු බුක්තිය අදින් අවසන් - මහින්දානන්ද පදනම රජයට පවරාගනී
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නමින් වසර 25කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය “මහින්දානන්ද පදනම” සතු සියලු නිශ්චල හා චංචල දේපළ අද (02) නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි වටිනා වාණිජ ඉඩමක් සහ ගොඩනැගිලි පද්ධතියක් මෙතෙක් එම පදනම විසින් පරිහරණය කර තිබුණි.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරණයකට අනුව, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ විසින් මෙම දේපළ යළි රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පදනමේ ලේකම් චාමික ධර්මතිලක පවසන්නේ, නාවලපිටිය තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ “සදහම් සුවඳ” සීල භාවනා වැඩසටහන සඳහා භූමිය භාවිතයට ලබාදීම බදු ගිවිසුම් උල්ලංඝනයක් ලෙස සලකමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එය අනවසර භාවිතයක් ලෙස හඳුන්වා දී ඇති බවයි.
එම නියෝගයට ගරු කරමින්, 2028 දක්වා බදු ගිවිසුම් කාලය ඉතිරිව තිබියදීත් දේපළ භාරදීමට තීරණය කළ බවද ඔහු සඳහන් කර ඇත.
අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් ස්ථානයට පැමිණි අතර, පදනමේ ලේකම්වරයා විසින් යතුරු සහ අදාළ ලේඛන නිල වශයෙන් ඔවුන් වෙත භාරදී තිබේ.