එල්නිනෝ හමුවේ ශ්‍රී ලංකාවේ ජලය සුරකින සැලැස්ම රජය දත්ත සමඟ හෙළිදරව් කරයි
එල්-නිනෝ කාලගුණික තත්ත්වයක් ඇති වුවද ශ්‍රී ලංකාවේ ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ අදහස් පළ කළේ අද (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති "එල්-නිනෝ තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්" පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවේදීය.
අධ්යක්ෂවරයා සඳහන් කළේ, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය යටතේ පවතින ජලාශවල මේ වන විට සියයට 57ක ජල ධාරිතාවක් පවතින බවයි.
විදුලිබල උත්පාදනයට භාවිත කරන ජලාශවල ජල ධාරිතාව සියයට 54ක් වන අතර, මහවැලි පද්ධතියට අයත් වාරි ජලාශවල එය සියයට 60ක් පමණ වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවලද සියයට 58ක පමණ ජල ධාරිතාවක් පවතින බව ඔහු පැවසීය.
යල කන්නය අවසන් වන විට මහවැලි පද්ධතියේ ජල ධාරිතාව සියයට 59ක මට්ටමේ පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතර, අනෙකුත් ජලාශවලද ප්‍රමාණවත් ජල සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සැලකිල්ලට ගනිමින් 2027 සැප්තැම්බර් 30 දක්වා ජල කළමනාකරණ සැලසුම් සකස් කර ඇති බවද ඔහු අනාවරණය කළේය. විදුලිබල සැපයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්යක්ෂවරයා කියා සිටියේ, වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් සාමාන්‍යයෙන් සියයට 25ක් ජල විදුලියෙන් සපයන අතර, මේ වන විට එය සියයට 23ක මට්ටමේ පවතින බවයි.
සුළං විදුලියෙන් සියයට 28ක පමණ දායකත්වයක් ලැබෙන අතර, ජල, සූර්ය සහ සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සමස්ත විදුලි පද්ධතියට සියයට 49ක පමණ දායකත්වයක් හිමිවන බවද ඔහු සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්ති කළමනාකරණය විධිමත්ව සිදු කෙරෙන බැවින් කර්මාන්ත ඇතුළු සියලු ක්ෂේත්‍ර සඳහා විදුලි සැපයුමට බාධාවක් ඇති නොවන බවද ඔහු අවධාරණය කළේය.
පානීය ජල සැපයුම සඳහා අවශ්‍ය ජල කළමනාකරණ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව පැවසූ අධ්යක්ෂවරයා, ගොවීන් නවීන තාක්ෂණික ක්‍රමවේද සහ නිසි වගා සැලසුම් අනුගමනය කළහොත් සියලුම ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් අවධාරණය කළේය.