සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්
ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ගෙන ඒම රජයේ ඉලක්කයයි ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ ප්රමුඛ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
වනාතවිල්ලුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගුරු සේවයේ ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවයි.
මෙරට පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 සිට ප්‍රමාද වී තිබූ බඳවා ගැනීම් මේ වසරේදී කඩිනම් කරන බවත්, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විනිවිදභාවයකින් යුතුව ගුරුවරුන් දහසකට අධික පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
අධ්‍යාපන ක්ෂේත්රයේ නව වෙනසක් ඇති කරමින් ඉදිරියේදී 09 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
එමඟින් දරුවන්ට තමන්ගේ රුචිකත්වය අනුව ශාස්ත්‍රීය හෝ වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීමට අවස්ථාව හිමිවන අතර, ඒ සඳහා වෘත්තීය පුහුණු ආයතන 50ක් පමණ වැඩිදියුණු කිරීමට ද රජය පියවර ගනු ඇත.
පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ජීවිත ආරක්ෂක කුසලතා වැනි ප්‍රායෝගික පුහුණුවීම් දරුවන්ට ලබාදීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.