යල කන්නයේ වගා හානිවලට රජයෙන් රුපියල් ලක්ෂයේ වන්දිය ගන්න මෙන්න මේ දේ කරන්න

By Aylin Zoya May 19, 2026 05:28 AM GMT
Report

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා තක්සේරු කිරීම්වලින් අනතුරුව, හානියට අනුව හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

මෙම වන්දි යෝජනා යටතේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූණු වගාවන් සඳහා වන්දි මුදල් ලබාදීමට නියමිතය. හානියට පත් වගා සම්බන්ධයෙන් ඉදිරි දින 14ක් තුළ සියලුම ගොවි මහතුන් අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන හානි දැනුම්දීමේ ලේඛනයේ වාර්තා කළ යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙම වැඩසටහන යටතේ ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරිකයක් අය නොකර, නොමිලේ රක්ෂණ ආවරණයක් යටතේ වන්දි ලබාදීම සිදු කරන බවද සඳහන් වේ.

පසුගිය කාලයේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල වගා බිම් ජලයෙන් යටවී ඇති අතර, ජලය බැසයාමෙන් පසු සැබෑ හානි ප්‍රමාණය තක්සේරු කිරීමට හැකියාව ඇති බවද පෙන්වා දී ඇත. 2026 යල කන්න වගා කටයුතු ආරම්භයේදීම මෙම වර්ෂාව හේතුවෙන් වගා පද්ධතිවලට හානි සිදුව ඇති අතර, එම අවස්ථාවේදී වගාව මූලික අදියරේ පවතින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

රටේ ගොවි ජනතාවගේ ආර්ථික ස්ථායීතාවය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, අඛණ්ඩ අධීක්ෂණ කටයුතු මගින් උපරිම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.