උත්සව වියදම් සම්බන්ධයෙන් තීරණයක් ගනී..

Government Employee Sri Lanka
By Aruna Nov 27, 2022 05:42 AM GMT
Aruna

Aruna

Report

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් මගින් රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙස නියෝග කරනු ලැබීය.

අදාළ විධිවිධාන තරයේ පිළිපදින ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අගෝස්තු 15 වැනිදා ද චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

ඊට අමතරව ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ද පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන විසින් සිය විෂය පථයට අදාළ උත්සව මෙන්ම වෙනත් බාහිර උත්සව කටයුතු සඳහා අරමුදල් වැය කිරීම අත්හිටුවන ලෙස විධානය කර තිබුණි.

එසේවුව ද අදාළ නියමයන්ට පටහැනිව තවදුරටත් එවැනි වියදම් දරනු ලබන බවට වාර්තා වන බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ අනුව සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන අයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපැයීම් භාවිත කරමින් කරන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නැවත අවධාරණය කර තිබේ.

නොවැම්බර් 25 වනදා චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පෙන්වා දෙන්නේ සියලුම ආයතන ප්‍රධානීන් මෙම උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now