ජනපති වහාම තීරණයක් ගන්න යයි...පැය 48ක් තුළ සිදු වූ දේ.

Dinesh gunawardhane Lasantha alagiyawanna Gotabaya Rajapakshe Gas Station
By Aruna Nov 30, 2021 06:29 AM GMT
Aruna

Aruna

Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඊට අදාළ වාර්තාව ලබන සිකුරාදා ලබා දීමට නියමිත බවයි. එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ උපදේශක කාරක සභාවක් හෙට පෙරවරු 09ට රැස්වීමට නියමිතයි.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම පරිදි කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම උපදේශක කාරක සභාව කැදවීමටයි අද(30) පාර්ලිමේන්තුවේදී තීරණය කළේ. මේ අතර ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්වල සංයුතිය ඇතුළු කරුණු නියාමනය සඳහා ආයතනයක් පිහිටවීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ අමාත්‍යවරයා කියා සිටියේ එවන් කරුණු පිළිබඳව සොයා බැලීමට මෙතෙක් ආයතනයක් නොතිබුණු බවයි.

ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳව ජනතාව අතර මතුව ඇති තැතිගැනීම් පිළිබඳව රජය වගකීමෙන් කරුණු සොයා බලන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරා දා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මේ අතර ගෑස් කාන්දූවීම් නිසා නිවාස වල ඇතිවූ පිපිරීම් සිදුවීම් 30 ක් පිළිබඳව ඊයේ (29) වනවිට වාර්තාවී තිබුණි.

ගත වූ පැය හතළිස් අටක කාලයේ පිපිරීම් 11ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවීම විශේෂිතය.

සංයුතියේ ප්‍රශ්නයක් නිසා මෙම අනතුරු සිදුවුනු බවට විමර්ශනයක් කළ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාව අනුව සංයුතියේ ප්‍රශ්නයක් ඇති බව හෙළි විය.

එනම් තමන් ප්‍රොපේන්- බියුටේන් පිරවූයේ 30-70 අනුපාතයට යයි කියන ගෑස් සමාගම් බොරු කර ඇති බවටත් සත්‍ය සංයුතිය 49-51 බවටත් කරුණු අනාවරණය කෙරිණි.

ඒ අනුව වැඩි වාසි තකා ගෑස් සිලින්ඩරය තුළ පවතින බියුටේන් වායුව සියයට 70 ක් වෙනුවට 51 දක්වා බස්සවා අලෙවි කර ඇති බව සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ උෂ්ණත්වයට නොගැලපෙණ මෙම සංයුතිය හේතුවෙන් පිපිරීම් සිදුවූ බව මීට ඉහත විද්‍යාඥයින් පෙන්වාදී තිබුණි.

ආසන්න දිනවල මාරවිල, පාදුක්ක, හංවැල්ල, කැකිරාව, මානිප්පායි, හලාවත, හැටන් යන ප්‍රදේශවල එම අනතුරු සිදුව තිබේ. මාරවිල ගරාජ් පාරේ නිවෙසක ගෑස් සිලින්ඩරය සවිකර තිබූ ළිපක් ද ඊයේ (29) පිපිරීමට ලක්විය.

එමෙන්ම හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ආපනශාලාවකද ගෑස් කාන්දුවක් හේතුවෙන් ඊ යේ (29) පිපිරීමක් සිදුව තිබේ.ආපනශාලාවට හානි සිදුවී ඇත.

එමෙන්ම කැකිරාව ප්‍රදේශයේ ඇල්පිටිය ප්‍රදේශයේ පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශ යේ ජාඇල, තුඩැල්ල, පොල්ගස්ඕවිට,හලාවත කාක්කාපල්ලිය සේමා ඉරිප්පුව ප්‍රදේශයේ, හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශ යේ, සියඹලාගොඩ සහ හාලිඇල එංගඔයගම ප්‍රදේශයන්හි මේ ආකාරයේ පිපිරීම් අනාවරණය වී තිබිණි.

සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප‍්‍රකාශ කළේ ගෑස්වල ප‍්‍රමිතිය හා ඒ පිළිබඳව නියාමනය කිරීමට මෙතෙක් කලක් කටයුතු කර නැති බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් රසායනාගාරය වෙත අදාළ ගෑස් සාම්පල ලැබුණු බවත් එකී සාම්පල් පිළිබඳ එකී රහස්‍ය වාර්තාව කෙළින්ම පාරිභෝගික අධිකාරිය වෙත යොමුකළ බවත් සඳහන් කළේය.

රජයේ රස පරික්‍ෂකවරිය වන ජී. රමානා මහත්මිය කියා සිටියේ එම සිද්ධීන් වී ඇති ආකාරය පිළිබඳව රස පරික්‍ෂක දෙපාර්තමේන්තුව පරික්‍ෂණ සිදුකළත් ගෑස් සංයුතිය හෝ සංඝටක පිළිබඳ පරික්‍ෂා කිරීමට රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවට කිසිදු තාක්‍ෂණික පහසුකමක් නැති බවයි.

මේ වනවිට එවැනි පරික්‍ෂණයක් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා හා ක‍්‍රමවේද සොයමින් සිටින බවද රජයේ රස පරික්‍ෂකවරිය සඳහන් කළාය.

මේ අතර මොරටුව විශ්වවිද්‍යාලය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර විද්වත් කමිටුවක්ද වෙනම මේ පිළිබඳ සොයා බැලීමට පටන්ගෙන තිබේ.

ගෑස් මිල ඉහළ ගොස් තිබෙන මොහොතක ගෑස් සිලින්ඩර පුපුරායාම හා ගිනි ගැනීම නිසා පාරිභෝගිකයින් ගෑස් භාවිතා කිරීම සම්බන්ධව දැඩි තැති ගැනීමට ලක්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now