අධ්‍යාපන ඇමති ගුරුවරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි

Sri lanka covid 19 Teachera GL pieris
By Sithumi Aug 02, 2021 11:21 AM GMT
Sithumi

Sithumi

Report

සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි කාර්යාලවලට පැමිණ රාජකාරී කළ යුතු බවට රජය දැනුම් දී ඇති බැවින් පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 

ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව අගෝස්තු මස අවසානයට පෙර ලබාදී ඉන්පසු රටේ පාසැල් විවෘත කිරීමේ හැකියාවක් ඇතැයි කී ඇමතිවරයා දිගින් දිගටම පාසල් වසාතැබීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කළේය. ඒ නිසා ඊට පෙර සැලැස්මක් ලෙස පාසැල්වලට පැමිණ වැඩකටයුතු කරගෙන යෑමට සහයෝගය දෙන්නැයි විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා කීවේය. 

  ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව හැකිතාක් ඉක්මණින් පාසැල් විවෘත කිරීම රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බව කී ඇමතිවරයා එහි ප්‍රථම පියවර ලෙස ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම කරගෙන යන බව ද පැවසීය. 

 මේ වන විට ඔවුන්ගෙන් සියයට 83 කට පළමු මාත්‍රාව ලබාදී ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව බස්නාහිර පළාතේ සියයට 98 කට, ඌව පළාතේ සියයට 95කට, මධ්‍යම සහ වයඹ පළාත්වල සියයට 84කට, උතුරු මැද හා දකුණු පළාත්වල සියයට 83කට, උතුරු පළාතේ සියයට 82කට, නැගෙනහිර පළාතේ සියයට 74කට සහ සබරගමු පළාතේ සියයට 52කට එන්නකේ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය. 

 ඔවුන්ට ලබන අගෝස්තු මස අවසන් වනවිට දෙවන මාත්‍රාව ලබා දී අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව පාසැල් විවෘත කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම කීවේය. මෙරට සිසුන් 50 ට අඩු පාසැල් 1439 ක්, සිසුන් 51 ත් 100 ත් අතර සිටින පාසැල් 1523 ක් තිබෙන බව කී ඇමතිවරයා මෙරට ඇති පාසැල් 10,165ක් පමණ අතුරින් පාසල් 2,962ක්ම සිසුන් 100 ට අඩු පාසල් බව කීවේය. 

ප්‍රථම පියවර ලෙස සිසුන් අඩු එම පාසැල් විවෘත කර ඉන්පසු ක්‍රමානුකූල සැලැස්මක් මත සෙසු පාසැල් පියවරෙන් පියවර විවෘත කිරීම රජයේ අභිලාශය බව ඇමතිවරයා පැවසීය.

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now