බෙංගාල බොක්ක කැළඹෙයි - හෙට සවස සුළි කුණාටුවක්? – කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
2026 නොවැම්බර් 15 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකිය
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (15) පෙරවරු 11.30 වනවිට මෙම පද්ධතිය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 630ක් පමණ දුරින්, නැගෙනහිරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් හෙට (16) සවස් කාලය වනවිට දකුණු සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පුරෝකථනය කර තිබේ.
එමෙන්ම නොවැම්බර් 17 වැනිදා වනවිට එය බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දිනයේදී දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.
මේ අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි