යුද චිත්‍රපටයක දර්ශනයක් වගේ - ඇමෙරිකාවේ මිසිසිපි ගඟේදී සංචාරක නෞකාවක් තෙල් ප්‍රවාහන භාණ්ඩ නෞකාවක ගැටී පෙරළෙන්නට යයි- 130කට ආසන්න පිරිසක් ප්රාතිහාර්යයකින් බේරාගත් හැටි මෙන්න
ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් (New Orleans) වරායේදී සංචාරක නෞකාවක් තෙල් ප්‍රවාහනය කරන භාණ්ඩ නෞකාවක ගැටීමෙන් අනතුරුව, එහි සිටි පුද්ගලයින් 130කට ආසන්න පිරිසක් ආරක්ෂිතව බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.
'ඇට්ලන්ටික් ඇස්ෆල්ට්' (Atlantic Asphalt) නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව, 'ඇමරිකන් හෙරිටේජ්' (American Heritage) නම් සංචාරක නෞකාවේ ගැටීමත් සමඟ එම සංචාරක නෞකාව මිසිසිපි ගඟේ එක් පසකට ඇල වී තිබුණි.
අනතුරින් සංචාරක නෞකාවේ සිටි පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තුවාල බරපතළ නොවන බව වාර්තා වේ.
අනතුරින් කිසිවෙකු අතුරුදහන් වී නොමැති අතර, මෙම සිදුවීම බලධාරීන් විසින් "මිසිසිපි ගඟේ සිදු වූ ප්රාතිහාර්යයක්" ලෙස හඳුන්වා තිබේ. අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.
කෙසේ වෙතත්, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ කපිතාන් මෙලනි බර්න්හැම් සඳහන් කර ඇත්තේ අනතුරට ලක්වූ නෞකාවේ සුක්කානම් පද්ධතියේ පාලනය යම් ආකාරයකින් අහිමි වී ඇති බවට පෙනී යන බවයි.
ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා කඩිනමින් මැදිහත් වූ සියලුම පළමු ප්‍රතිචාර කණ්ඩායම් වෙත එහි ගෞරවය හිමිවිය යුතු බව නිව් ඕර්ලියන්ස් නගරාධිපති හෙලේනා මොරෙනෝ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. "කිසිවෙකු අතුරුදහන් වී නැහැ. මෙය සැබවින්ම මිසිසිපි ගඟේ සිදු වූ ප්රාතිහාර්යයක්" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නිව් ඕර්ලියන්ස් වරායේ ප්‍රධානී මෙලනි මොන්ට්රෝල් පැවසුවේ සිකුරාදා පස්වරු 1.30ට පමණ (EST) එනම් GMT වේලාවෙන් පස්වරු 6.30ට පමණ අනතුර පිළිබඳ පළමු තොරතුරු ලැබුණු බවයි. ඒ වන විට නෞකාවට ජලය ඇතුළු වෙමින් පැවති අතර, මගීන් ඉවත් කර බේරා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබූ බවද ඇය සඳහන් කළාය.
වරාය බලධාරීන්ට අනුව අනතුර සිදුවන අවස්ථාවේදී 'ඇමරිකන් හෙරිටේජ්' නෞකාවේ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 129 දෙනෙකු පමණ සිට ඇත. 'ඇමරිකන් කෲස් ලයින්ස්' (American Cruise Lines) සමාගම විසින් මෙහෙයවනු ලබන මෙම නෞකාව එක් පසකට ඇල වීමෙන් පසු පෙරළීමට පටන් ගැනීමත් සමඟ එහි සිටි මගීන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න
ටග් බෝට්ටු ක්‍රියාකරුවන්, පොලිස් නිලධාරීන් සහ අනෙකුත් ගලවා ගැනීමේ කණ්ඩායම් වහාම මෙහෙයුමට එක්වූ අතර, ගලවා ගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා මිසිසිපි ගඟේ අදාළ ප්‍රදේශයේ නාවික ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
'ඇමරිකන් හෙරිටේජ්' නෞකාව ලුසියානා සහ මිසිසිපි ප්‍රාන්තවල මිසිසිපි ගඟ ආශ්රිත සංචාරක ගමනාන්ත ආවරණය කරමින් පැවැති දින අටක සංචාරයක් නිම කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'ට්‍රත් සෝෂල්' (Truth Social) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.
මිසිසිපි ගඟේ වසර ගණනාවක් පුරා නෞකා ආරක්ෂිතව ගමන් කර ඇති බව සඳහන් කළ ඔහු, අනතුරට හේතුව සොයා බැලීමට විමර්ශනයක් සිදුකරන බවටද පොරොන්දු වී තිබේ. අනතුර ඇසින් දුටු ජේමි හොල්ෆර්ඩ්, බීබීසීයේ එක්සත් ජනපද මාධ්‍ය සහකරු වන සීබීඑස් වෙත පවසා ඇත්තේ ගැටීමෙන් පසු සංචාරක නෞකාව තොටුපළේද ගැටෙනු තමන් දුටු බවයි.
"එය යුද චිත්‍රපටයක දර්ශනයක් වගේ ඇසුණා. විශාල වානේ කොටස් එකිනෙක ගැටෙන හඬක් එහි තිබුණා" යනුවෙන් ඔහු පැවසීය. එමෙන්ම අනතුර සිදුවීමත් සමඟ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කලබලයට පත්ව කෑගසමින් සිටිනු දුටු බවද හොල්ෆර්ඩ් සඳහන් කර ඇත. 2015 වසරේදී ඉදිකරන ලද 'ඇමරිකන් හෙරිටේජ්' නෞකාව මගීන් 150 දෙනෙකු දක්වා රැගෙන යා හැකි සංචාරක නෞකාවකි.
එහි වීදුරු ආවරණය කළ අවන්හලක්, ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් සහ මගී විවේකාගාර තුනක් ඇතුළු පහසුකම් රැසක් පවතින අතර, එය අවම වශයෙන් තට්ටු හතරකින් සමන්විත වේ.