ගංවතුරට කොටුවූ චිම්පන්සියාට අහසින් කෑම - ඩ්‍රෝන යානයෙන් ගෙනා කෙසෙල් ගෙඩිය දැක පුදුම වෙයි
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයක් හමුවේ ජලයෙන් වටවී කොටුවූ චිම්පන්සියෙකුට ඩ්‍රෝන යානයක් මඟින් ආහාර සහ අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට සත්ව රැකවරණ මධ්‍යස්ථානයක සේවකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.
මෙම අපූරු සිදුවීම වාර්තා වන්නේ ෆ්ලොරිඩාවේ Fort Pierce ප්‍රදේශයේ පිහිටි 'Save the Chimps' නමැති සත්ව රැකවරණ මධ්‍යස්ථානයෙන්. අක්කර 150ක භූමි ප්‍රදේශයක පවත්වාගෙන යන එම මධ්‍යස්ථානයේ චිම්පන්සියන් 200කට අධික සංඛ්‍යාවක් රැකබලා ගනු ලබනවා.
නොවැම්බර් 1 සිට 3 දක්වා ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යස්ථානයේ ඇළ මාර්ග පිටාර ගලා අභ්‍යන්තර මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
මේ හේතුවෙන් සතුන්ට ආහාර සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාමට සේවකයන්ට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී විශේෂයෙන්ම ජලයෙන් වටවූ ප්‍රදේශයක කොටුවී සිටි කාලෙබ් (Kaleb) නමැති 38 හැවිරිදි චිම්පන්සියාට ආහාර ලබාදීම අභියෝගයක් වී තිබෙනවා.

ඒ අනුව, හදිසි අවස්ථා සඳහා කලින් මිලදීගෙන තිබූ ඩ්‍රෝන යානයක් යොදාගනිමින් කෙසෙල් ඇතුළු ආහාර සහ බ්ලැන්කට්ටුවක් ඔහු වෙත යැවීමට සේවකයන් කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ඩ්‍රෝන යානයකින් පහතට යවන ලද කඩදාසි බෑගයක තිබූ කෙසෙල් ගෙඩියක් කාලෙබ් විසින් ලබාගෙන ආහාරයට ගන්නා ආකාරයයි.
පසුව ජලයෙන් යටවූ ප්‍රදේශයක් හරහා සකස් කළ කඹයක් ඔස්සේ ඔහු වඩාත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයකට ගමන් කර තිබෙනවා.
ගංවතුර තත්ත්වය හමුවේ වුවද මධ්‍යස්ථානයේ සිටින සියලුම චිම්පන්සියන් ආරක්ෂිතව සිටින බව එහි බලධාරීන් තහවුරු කර තිබෙනවා.
සතුන්ට දිනපතා ලබාදෙන ආහාර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ට්‍රක් රථ සහ ට්‍රැක්ටර් ද යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
න්‍යෂ්ටික අවි ගැන තීරණාත්මක සාකච්ඡාවකට ලෝක බලවතුන් සැරසෙයි - ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින්ගේ ඓතිහාසික හමුවේ අරමුණ කුමක්ද?