කිරිපිටි වලට හෙට සිදුවන දේ මෙන්න.. ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති ගැන තීරණයක්.

Sri Lanka Gas Milk powder Cimenth
By Aruna Oct 10, 2021 03:02 AM GMT
Aruna

Aruna

Report

වරායෙන් නිදහස් කරන ලද ආනයනික කිරිපිටි හෙට සිට වෙළඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ මේ වනවිට අදාළ කිරිපිටි තොග ඇසුරුම් කරමින් සිටින බවයි.

රුපියල් 250කින් ඉහළ නැංවෙන කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 1195ක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ ගිය අතර, එහි නව මිල රුපියල් 480ක් වනවා.

ආනයනික කිරිපිටි මෙන්ම දේශීය කිරිපිටි මිලද ඉහළ දැමීමට සිදුවන බව මිල්කෝ සමාගම ද ප්‍රකාශ කළා.

එම සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසේකර කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බැවින් මෙලෙස දේශීය කිරිපිටි මිල ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි මිල නව මිල ගණන් හෙට දිනයේදි ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

පාලන මිල ඉවත් කිරිමත් සමඟ සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 97 කින් ඉදිරියේදී ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 ත් 12 ත් අතර මිලකට ඉදිරියේදී ඉහළ යාමට නියමිතයි.

කෙසේ වෙතත්, ගෑස් සම්බන්ධයෙන් මේ වනවිටත් නිශ්චිත මිලක් තීරණය වී නොමැති අතර, ඒ පිළිබඳව සමාගම් අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වැඩි වන මිල පිළිබඳව තීරණයක් ගනු ඇති.

ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පසුගියදා පැවති විශේෂ සාකච්ජාවේදී කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව, කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ අත්සනින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය, තිරිඟු පිටි සැපයුම්කරුවන්, සිමෙන්ති සැපයුම්කරුවන් සහ ගෑස් සැපයුම්කරුවන් සිය මිල ගණන් ඉහළ නැංවීමට අදාළව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පෙරේදා සාකච්ඡාවල නිරත වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now