මාස 6කට පෙර දැනුම් දුන්නත් ගෑස් සංයුතිය හැදීම හංගලා

SINHALANEWS GAS COMPOSITION GAS EXPLOSION SRILANKANWS GAGANA
By Gagana Dec 05, 2021 01:09 AM GMT
Gagana

Gagana

Report

එල්. පී. ගෑස්වල සංයුතිය සකස් කරන ලෙස මාස 06 කට පෙර ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශයෙන් ඉල්ලා සිටියත් මේ වනතෙක් එවැනි සංයුතියක් සකස් කර නැතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

ගෑස් සිලින්ඩර් ආශි‍්‍රතව පාරිභෝගික අධිකාරියට ලැබුණු දැනුම්දීම් අනුව සිලින්ඩර් තුළ පවතින ගෑස්වල සංයුතිය වහා පරීක්‍ෂණයක් කර අධිකාරියට දැනුම් දෙන ලෙස පසුගිය ජුනි 11 වැනිදා ප‍්‍රමිති කාර්යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කළත් මේ වන තෙක් එම සංයුතිය සකස් කර එවා නැතැයි ද ඔහු කීය.

ගෑස් සිලින්ඩර් ආශි‍්‍රතව දිගින් දිගටම පැමිණිලි වාර්තාවීම නිසා පාරිභෝගික අධිකාරිය නීති සහය ඇතිව සමාගම් දෙකට එරෙහිව ලබන සඳුදා (06 දා) අධිකරණය හමුවට යෑමට අදහස් කර ඇති බවත් ඔහු කීය. එහිදී සමාගමකට හෝ දෙකටම එරෙහිව අධිකරණයේ නඩු පවරනවාද යන්න අද (05 දා) තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු කීය.

ලිට්රෝ සමාගම විසින් බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය මිශ‍්‍ර කර රටට එල්පී ගෑස් ආනයනය කරන බවත් ලාෆ් සමාගම ගෑස් හම්බන්තොට වරායට ආනයනය කර එහිදී බියුටේන් සහ ප්‍රොපේන් කලවම් කර සිලින්ඩරවලට පුරවන බවත් දිසානායක මහතා කීය.

මෑත දිනවල ගෑස් ටැංකි ආශි‍්‍රත සිදුවූ පිපිරීම් සහ ගිනිගැනීම්වලට විශාල ලෙස ලිට්ට්‍රෝ සමාගම වෙළෙඳපොළට නිකුත් කර තිබෙන සිලින්ඩර් හේතුවී ඇති බවට වාර්තා වන බවත් ලාෆ් සමාගම නිකුත් කළ සිලින්ඩර් එකක් හෝ දෙකක් ආශි‍්‍රතව ගිනිගැනීම් සහ පිපිරීම් වාර්තා වී ඇති බවත් ඔහු කීය.

ගෑස් සමාගම් විසින් පාරිභෝගික අධිකාරියට ගෑස්වල අඩංගු සංයුතිය පිළිබඳව ලිඛිතව දනුම්දී ඇතත් එම සංයුතිය නොමැති බව තෙල් සංස්ථාවට අයත් රසායනාගාරයේදී සිදුකළ පරීක්‍ෂාවේදී හෙළිවී ඇතැයි ද ඔහු කීය.

කෙසේ වෙතත් මෙම පිපිරීම් දෙස බැලීමේදී වැඩි වශයෙන් පිපිරීමට ලක්ව ඇත්තේ නොවැම්බර් මාසය තුළ වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ගෑස් සිලින්ඩර් බවට පෙනී යන බවත් ඒ මහතා කීය. මෙරට ජනගහනයෙන් සියයට 35 ක් ගෑස් පරිභෝජනය කරන බවට වාර්තා වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW