15 හැවිරිදි දැරිය අපයෝජනය කළ ප්‍රබලම සාමාජිකයන්ට ඇප

By Sewvandhi Jul 09, 2021 10:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

මෙලෙස ඇප හිමිව ඇත්තේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, විශේෂඥ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුටයි.

ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගැනීමෙන් අනතුරුව මෙලෙස ඇපමත මුදා හැර ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරුවන්ගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබා ගැනීම යුක්ති සහගත නොවන බව පැවසූවාය.

ඒ අනුව එක් එක් සැකකරු රු 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට සැකකරුවන්ට තරයේ අවවාද කළාය.

එවැනි ක්‍රියාවක නිරත වූ බවට පැමිණිල්ලක් ලැබුණොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට සැකකරුවන්ට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය සෑම ඉරු දිනකම පෙරවරු 9.00-12.00 අතර ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් සැකකරුවන්ට නියෝග කළාය.

එම සැකකරුවන්ට අදාළ නඩුව නැවත අගෝස්තු මස 19 කැඳවන බව ද අධිකරණය නියම කළේය.

ReeCha