මිහින්තලා පුදබිමේ පලතුරු ආසන කඩලා - මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට
ඉකුත් පළාත් පාලන මැතිවරණයට මිහින්තලේ ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙකු සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය අසල ස්ථාපිත කර ඇති පූජා කෙරෙන පලතුරු වට්ටි සැකසීම සඳහා භාවිත කරන මෙම විශේෂිත ආසනය යමකු විසින් කඩා බිඳ දමා විනාශ කර ඇති බව ක්ෂණිකව දැනුම් දීම සඳහා මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සිද්ධිය දැනගත් විගස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දු සිරි රාජිත් මහතාගේ නිල ජංගම දුරකථනයට අවස්ථා ගණනාවක් අමතා ඇතත් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වා නොමැත.
පසුව මිහින්තලා රජමහ විහාරාධිපති නාහිමියන් ස්ථාවර දුරකථන ඇමතුමකින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගෙන මෙම සිද්ධිය දැනුම් දී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් මිහින්තලේ පොලීස් ස්ථානාධිපතිවරයා මිහින්තලා නාහිමියන් වෙත දන්වා ඇත්තේ තමා පමණක් පොලිසියේ සිටින බැවින් අදාළ සිද්ධිය වූ ස්ථානයට යැවීමට කිසිදු පොලිස් නිලධාරියෙකු නොමැති බවයි.
පසුව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිල ජංගම දුරකථනයට අමතා ඇති මිහින්තලා විහාරාධිපති නාහිමියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබේ.
මෙම අවස්ථාවේදීම මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන් පොලිස්පතිවරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සිටින අතරතුර, උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමූහ දුරකථන සංවාදයකට සම්බන්ධ කර ඇති පොලිස්පතිවරයා වහාම මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මිහින්තලේ පොලිසිය මඟින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නාමල්වැව කොට්ඨාසයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කළ අවිෂ්ක ඉමේෂ් සේනාධීර සහ තවත් සැකකරුවකු වන ඩබ්ලිව්. ඩී. සුමේධ ලක්ෂිත යන සැකකරුවන්ය. ඔවුන් මිහින්තලය කඳුවටාපාර සහ කුමාරසිරිගම පදිංචිකරුවන්ය.