හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට අධිචෝදනා
හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව තරඟ පාවාදීමට අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් අද(25) දින නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණයේදී අධිචෝදනා භාරදුන්නා.
මෙම අධිචෝදනා හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඩී.පී. මුදුන්කොටුව මහතා ඉදිරියේ භාරදෙනු ලැබුවා.
2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5(ඇ) වගන්තිය උල්ලංඝනය කිරීම හරහා “ක්‍රීඩාවල දූෂණය” යන වරද සිදුකර ඇති බවට සචිත්‍ර සේනානායකට චෝදනා එල්ලව ඇති අතර, එම පනතේ 9 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙය සැලකෙනවා.
2020 නොවැම්බර් 21 සහ 22 යන දිනවල මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේදී, කලම්බු කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩක තරිඳු රත්නායකට තරඟ පාවාදීමේ යෝජනාවක් ඉදිරිපත් කළ වෙනත් පාර්ශ්වයකින් ලැබුණු යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීම, ඔහුව ඒ සඳහා පෙළඹවීම, උපදෙස් ලබාදීම, සහ දූෂණයට අනුබලදීම යන චෝදනාවන්ට ඔහුට එරෙහිව අධිචෝදනා නගා ඇත.
එසේම, මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති පුද්ගලයකු තරිඳු රත්නායකට “already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් පවසමින් තරඟ පාවාදීමට යෝජනා කළ බවත්, එම යෝජනාව ICC දූෂණ විරෝධී ඒකකයට වාර්තා කිරීම වැළැක්වීමට සචිත්‍ර සේනානායක කටයුතු කළ බවත් අධිචෝදනාවල සඳහන්.
අධිචෝදනා භාරදීමෙන් පසු, විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබාගන්නා ලෙස අධිකරණය නියම කළ අතර, රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත සචිත්‍ර සේනානායකව මුදාහැරීමට නියම කළා. එම ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් දෙදෙනකු විය යුතු බවත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව, මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය එම ඒකකයේ උපදෙස් මත සචිත්‍ර සේනානායකව අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදාහරිනු ලැබුවා.
මුලික නඩු විභාගයේදී ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසු, අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ හම්බන්තොට මහාධිකරණයේදී මෙම අධිචෝදනා ගොනු කරනු ලැබුවා.
සචිත්‍ර සේනානායක වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මහතා පෙනී සිටියා.
මෙම නඩු විභාගය 2025 නොවැම්බර් 27 වන දින යළි කැඳවීමට නියමිතයි.