විදේශ ඇමති විජිත හේරත් ජිනීවා බලා පිටත් වෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරු 6.45ට පමණ ජිනීවා බලා පිටත්ව ගොස් ඇත.
ඔහු එහිදී හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ (UNHRC) 6 වන සැසියට සහභාගි වීමට නියමිතය.
අමාත්‍ය විජිත හේරත් මහතා මෙම සැසියේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත අතර, එහිදී මානව හිමිකම් ආරක්ෂාව, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ රජයේ ක්‍රියාමාර්ග ඉස්මතු කරනු ඇත.
මෙම සැසිය Volker Turk මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව සහ ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකට පසුව පැවැත්වෙන බැවින්, නව රජයේ මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කමක් ඇත.
මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා ජිනීවා නුවර දී ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් Volker Turk මහතා සමඟ විශේෂ හමුවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම හමුවේදී රජයේ ඉදිරි සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
මෙවර මානව හිමිකම් සැසියට අමාත්‍ය විජිත හේරත් මහතාට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි වේ. මෙම සැසිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාව සහ සංහිඳියාව පිළිබඳ ජාත්‍යන්තර එකමුතුව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.