ආහාර අර්බුදයට වගකිව යුත්තන් ගැන ආචාර්ය සුරේන් බටගොඩ හෙළි කරයි.

Sri Lanka Food Crisis
By Wayomi Sep 18, 2022 12:43 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16 දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්විණි.

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම හා එහිදී මතුවන ගැටළු හා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එළැඹෙන සතිය ඇතුළත ගෙයින් ගෙට ගොස් මේ සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අවශ්‍ය නම් මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ හැකියාවත් නිලධාරීන්ට පෙන්වා දුන් සුරේන් බටගොඩ මහතා ආහාර නොමැති අයට ආහාර ලබාදීමේ ප්‍රමුඛ කාර්යය අරමුණු කරගෙන මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නා.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවීම සම්බන්ධව ඇතිවන මූලික ගැටළු, වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොමැතිකම, බීජ හිඟතාවය, කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම, පලිබෝධනාශක හිඟතාවය, වගාවන් සඳහා සතුන්ගෙන්වන හානි සහ අතිරික්ත අස්වැන්න අලෙවි කර ගැනීමට පවතින දුෂ්කරතාවයන් ආදී ගොවි ගැටලු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට මේවන විටත් පියවර ගෙන ඇති බවත්, පොහොර සහ කෘමිනාශක ආනයනයට කටයුතු කර තිබෙන අතර, ඉන්ධන සදහා QR කෝඩ් යටතේ ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවත් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පෙන්වා දෙනු ලැබීය.

දේශීය වශයෙන් හිඟ බීජ වර්ග ආනයනය කිරීමට කටයුතු කරන බවත්, මෙම වැඩසටහන යටතේ පිහිටවනු ලබන ජාතික පුනර්ජීවන කේන්ද්‍ර සියල්ල ඒකාබද්ධ කිරීම හරහා අතිරික්ත නිෂ්පාදන, නිෂ්පාදන ඌනතාවයෙන් පෙළෙන ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රවලට සාධාරණ මිලකට අලෙවි කිරීමට අවස්ථාවක් ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළා.

බටගොඩ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"පසුගිය යල කන්නය සහ මහ කන්නය සාර්ථක නොවීමෙන් රටේ ආහාර අර්බුදයක් ඇති වී තිබෙනවා. රටේ ආහාර හිඟතාව නිසා 60%ක් පමණ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කර ඇති බවට දත්ත වාර්තා වෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආහාර ලබා දීම අපේ ප්‍රමුඛ වැඩසටහනක් වන්නේ ඒ නිසයි.

ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙන්නේ කිසිම කෙනෙක් කුසගින්නේ තබන්න එපා කියලා. ඒ නිසා අපි ප්‍රජා මුලුතැන්ගෙය කියන වැඩසටහන හරහා ආහාර නැති අයට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගෘහ ඒකක ශක්තිමත් කිරීමටත්, ඉදිරි මහ කන්නයේ දී වගා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දත්ත රැස් කිරීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් රටේ ආහාර හිඟතාවයකින් තොරව ජනතාවට ලබා දිය හැකියි. මේ ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරින් එක් පැත්තකින් වගකියන්න ඕන. රාජ්‍ය නිලධාරින් වශයෙන් අපිත් මෙයට මැදිහත් විය යුතුයි. මෙම ආර්ථික කේන්ද්‍රය හරහා ආහාර සහ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා."    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW