එන්නත් නොගත් අයට සෑම මාස 3කට වරක්ම දඩ..?

By Sewvandhi Dec 11, 2021 02:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඔස්ට්‍රියානුවන්ගෙන් සෑම මාස 3 කටම වරක්, යූරෝ 3,600 ක (ඇමෙරිකන් ඩොලර් 4,071ක්) දඩමුදලක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රියා රජය කියයි. ඔස්ට්‍රියාව අයත් වන්නේ බටහිර යුරෝපයටය.

මේ වනවිට ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් සියයට 68 ක ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත. බටහිර යුරෝපයේ සෙසු රටවල් හා සන්සන්දනය කරද්දී, එය ඉතාමත් අඩු ප්‍රතිශතයකි. ඔස්ට්‍රියානුවන් වැඩි දෙනා කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීමට අදිමදි කරන්නේ, එන්නත් ගැන ඔවුන්ගේ විශ්වාසයක් නොමැති බැවිනි.

එන්නත් සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ දේශපාලනික වශයෙන් ද බෙදීමක් පවතී. එන්නත් ලබා ගැනීමෙන් වළකින්නැයි ජනතාවට උපදෙස් දෙන්නේ ඔස්ට්‍රියා නිදහස් පක්ෂයයි. ඔස්ට්‍රියාවේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පසුගිය සති තුනක කාලය පුරාවට, ඔස්ට්‍රියාවේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ ගියේය.

සිවුවැනි වතාවටත් ඔස්ට්‍රියාව, මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණි. එම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ඒ අනුව නිර්දේශ කළේ රටේ එන්නත් ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ සියලු දෙනාට එන්නත් අනිවාර්ය කළ යුතු බවය. ඔස්ට්‍රියා රජය එන්නත් අනිවාර්ය කළහොත්, යුරෝපා රටක් එසේ කොවිඩ් 19 එන්නත් අනිවාර්ය කරන පළමු අවස්ථාව එය වනු ඇත.

‘‘එන්නත් ලබා නොගන්නා අයට බලපෑම් කරන්න අප කැමැති නැහැ.. ඒත් සෞඛ්‍ය නිර්දේශ අනුව, රටේ වැඩි දෙනා එන්නත් ලබා ගත්තොත් වසංගතය මර්දනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ නිසයි අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වගකීමක් ඇති පුරවැසියන් විදියට එන්නත් ලබා ගන්න’ යැයි සෞඛ්‍ය අමාත්‍ය වුල්ෆ්ගැන්ග් මුඑක්ස්ටයින් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

කොවිඩ් 19 එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදාය. මේ වනවිටත් රජයට පක්ෂ දේශපාලන පක්ෂ ඊට සහාය පළ කරන බව ද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW