සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි ජනතාවට විකිණූ පුද්ගලයාට දුන් දඬුවම
සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට මාස 04 බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩ මුදලක් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව මෙම නඩු තීන්දුව ලබා දී ඇත.
මෙලෙස සිරදඬුවම් ලබා දී ඇත්තේ සත්ත්ව ආහාර නිෂ්පාදකයෙකු වූ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අයටය.
2019 ජනවාරි මාසයේදී ලද තොරතුරකට අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 2019.01.12 දිනයේ අදාළ ආයතනයේ වැටලීම සිදුකර තිබේ.
එහිදී, දේශීය කිරිපිටි නිෂ්පාදකයකු විසින් සත්ත්ව අහාර සඳහා අලෙවිකරණ ලද කිරිපිටි මෙම පුද්ගලයා මිලදීගෙන ඒවා මනුෂ්‍ය පරිභෝජනය සඳහා ව්‍යාජ ලෙස නැවත ඇසුරුම් කරන බව හෙළි වී ඇත.
අදාළ ව්‍යාපාරිකයා විසින් සත්ත්ව කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ එම අවස්ථාව වන විටත් අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සඳහා අලෙවිකර අවසන්ව තිබී තිබේ.
ඒ අනුව, අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව 2019 ජනවාරි මස 18 දින කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙලෙස නඩු පවරා ඇති අතර වසර 5ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව අදාළ ව්‍යාපාරිකයා වරදකරු බවට අධිකරණය මඟින් තීන්දු කර ඇත.
අදාළ භාණ්ඩ තොගය වන පරිභෝජනයට නුසුදුසු සත්ත්ව කිරිපිටි මෙට්‍රික් ටොන් 160 ක ප්‍රමාණයද අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටද නියම කරන ලදී.
