බුකිය කැලඹූ ෆේස්බුක් සාදය - පාසල් සිසුන් පිරිසකුත් අත්අඩංගුවට..(VIDEO)

Facebook Kandy Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Sep 25, 2022 12:57 PM GMT
Sithumi

Sithumi

Report

ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට නුදුරු ස්ථානයක ඉතා සුක්ෂමව හා රහසිගතව පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් මධ්‍යම පළාත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබේ. ෆේස්බුක් ඔස්සේ ඉතාමත් රහසිගතව ප්‍රචාරය කරමින් එම ෆේස්බුක් සාදය සඳහා තරුණ පිරිස් ගෙන්වා ගෙන ඇති අතර, මෙයට සහභාගි වූ 300කට අධික තරුණ පිරිස අතරින් 50කට අධික පිරිසක් බාල වයස්කාර පාසල් ළමුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

වයස අවුරුදු 14 -18 අතර වියේ පසුවන පාසල් සිසු සිසුවියෝ එම සාදයට සහභාගි වී සිටි බව පැවසූ සුරාබදු නිලධාරීන් එම පාසල් ළමුන් හට තරයේ අවවාද කොට ඔවුන්ගේ දෙමව්පියන්ට භාරදීමට පියවර ගෙන ඇත. මධ්‍යම පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතාට ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරියෙක් එම ෆේස්බුක් කණ්ඩායමට සූක්ෂමව සම්බන්ධ කොට තොරතුරු ලබාගෙන තිබේ. ෆේස්බුක් සාදය ඊයේ (24) පස්වරු 02 සිට මධ්‍යම රාත්‍රී දක්වා පැවැත්වීමට සැලසුම් කොට තිබී ඇති අතර තරුණ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් හා නිලධාරිනියන් දෙදෙනෙක් පෙම්වතුන් වශයෙන් පෙනී සිටිමින් සාදයට සහභාගි කොට උපායශීලිව වැටලීම සිදුකොට ඇත.

මධ්‍යම පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත ගම්පොළ, හැටන් හා නුවරඑළිය සුරාබදු ස්ථානවල නිලධාරීන් සහභාගී කරවා ගනිමින් ඊයේ සවස 5ට පමණ එම වැටලීම සිදුකොට තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ මීට සහභාගී ව සිටී බහුතරයක් විවිධ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කොට ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරෙමින් සිටි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 12දෙනෙකු අද (25) ගම්පොළ අතිරේක මහෙස්ත්‍රාත් අජිත් උඩුගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පිරිස හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW