ඇස් නැතුව ඔබට ජීවත් වෙන්න පුළුවන්ද..එහෙනම් මේ ගැනත් හිතන්න..

By Sithumi Nov 12, 2021 02:19 PM GMT
Sithumi

Sithumi

Report

වයස අවුරුදු 40 – 50 ත් අතර වයස ප්‍රමාණයක සිටිනා පාඨක ඔබ දැනටමත් ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් ඇත්දැකලා ඇති බව නොඅනුමානයි. පත්තර, පොත්වල කුඩා අකුරු පැහැදිලි නැති බව, එහෙම නැතිනම් අකුරු පැහැදිලිව බලාගැනීම සඳහා ඔබ කියවන පත්තරය ඔබගේ ඇසට යම් දුරක් ඈත්ව තබා ගන්නා එක තරමක් අඳුර ඇති විට කියවීමට අපහසු වීම ,කියවීම සඳහා ඇස වෙහෙසට පත් කිරීමට සිදුවීම ඔබට කුතුහලයක් මෙන්ම අපහසුතාවයක්ද ඇති කරලා ඇති.

මෙයට හේතුව “ හතළිස් ඇඳිරිය” යි. සාමාන්‍යයෙන් අවුරුදු 40දී හරි 40 පහු වුණාම හරි හතළිස් ඇඳිරිය ඇති වෙනවා කියනවනේ.ඇස් වල ඇති වන තද වේදනාවක්, දෑස් වල ඇති වන දැවිල්ලක් හතළිස් ඇඳිරිය ඇති වූ අයගේ දකින්න පුළුවන්.අන්න ඒ තත්වයට පත් වුණාම අනිවාර්යයෙන්ම දී කණ්නාඩියක් පාවිච්චි කරන්න ඕනේ.ඇත්තටම හතළිස් ඇඳිරිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියට ඇයි හතළිස් ඇඳිරිය ඇති වෙන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ.ඉතින් අද අපි හතළිස් ඇඳිරිය ගැන කතා කරන්න හිතුවා.

ඇයි හතළිස් ඇඳිරිය ඇති වෙන්නේ

අපගේ ඇස ඉදිරිපස පිහිටා ඇති කලු ඉංගිරියාවට පිටුපස පැහැදිලි පෙනීම සඳහා උදව් කරන අක්‍ෂි කාචය (Lens) පිහිටා තිබෙනවා. ඇස ඇතුලට ඇතුළු වන ආලෝකය මෙම කාචය තුලින් ගමන් කරන විට කාචය හැකිලීම හෝ දිගහැරීම සිදුවී ඇස පිටුපස බිත්තියේ පැහැදිලි ලෙස පතිත කරවනු ලබනවා. මෙම පැහැදිලි කර පතිත වූ ආලෝකය (Focused) රැගෙන ආ දර්ශනය මොළය වෙත ස්නායු මගින් ලබා දී “ පෙනීම” ඇති කර දෙනු ලබනවා.

“හතළිස් ඇඳිරිය” ක්‍රියාවලියේදී සිදුවන්නේ මෙම ඉහත සඳහන් කළ අක්‍ෂි කාචයට ලඟ ඇති වස්තූන්ගේ (උදා පත්තර , පොත්වල අකුරු, ඉඳිකටුවට නූල ඇමිනීම) දර්ශනය, ඇසෙහි පිටුපස සංවේදී බිත්තියට පැහැදිලි ලෙසට ලබා දීමට ඇති වන නොහැකියාවයි. තව දුරටත් පැහැදිලි කළොත් අක්‍ෂි කාචය හැකිලීමට ඇතිවන අපහසුව නිසා දර්ශනය පැහැදිලි ලෙස ගැනීමට හෙවත් නාභිගත කර ගැනීමට ඇති නොහැකියාවයි. අක්‍ෂි කාචයේ ඇති ඇදෙන සුලු බව වයසට යාමේදී අඩු වී යාමත්, අක්‍ෂි කාචය හැකිලීමට උදව් කරනා සියුම් ‘ මාංශ පේශි වයසට යන විට දුර්වල වීමත් නිසා මේ තත්ත්වය ඇතින බව විශ්වාස කෙරෙනවා.

පටන් ගන්නේ 40න් නෙමෙයි

ඇත්තටම මේ ළඟ නොපෙනීම හෙවත් ළඟ ඇති වස්තූන් පැහැදිලි නැති වීම වයස අවු 40 – 50 අතර එකවරම ඇතිවන එකක් නොවේ. අපි ඉතා කුඩා කාලයේ සිටම ළඟ පෙනෙනා දුර (near point) ක්‍රම ක්‍රමයෙන් ඈත් වී වයස අවු. 40 ඉක්ම වූ පසුව අපගේ එදිනෙදා වැඩ කටයුතු වලට බලපාන මට්ටමකට ඈතට යනවා. උදාහරණයක් ලෙසට වයස අවුරුදු 10දී පමණ මෙම දුර අඟල් 3 – 4 පමණක්, වයස අවුරුදු 40 පමණ වන විට අඟල් 6 – 10 පමණක්.

වයස අවුරුදු 60 වන විට අඟල් 40 ක් පමණක් වෙනවා. ඉතිං මේ ආකාරයට වයස ගත වන විට ළඟ පෙනෙන ප්‍රමාණය ටික ටික ඈතට යන බව ඔබට වැටහෙනවා ඇති.තවත් අතකට, අප කරනා රැකියාව අනුව මෙම හතළිස් ඇඳිරිය හි බලපෑම වෙනස් වෙනවා. සියුම් වැඩකටයුතු කරනා හෝ ලියකියවිලි වල වැඩකරනා අය ඉතා ඉක්මණින් ද, ගොවිතැන් කටයුතු හා මේසන් වැනි ඉදිකිරීම් කටයුතු කරනා අය ටිකක් පසුවද ප්‍රතිකාර සඳහා යොමු වෙනවා දකින්නට පුළුවන්.

හතළිස් ඇඳිරිය ඇති වීමට හේතු

  1. පෝෂණය අඩු වීම-: වයසට යනකොට ගොඩක් අය ගුණදායක ආහාර ලබා ගැනීම මඟ හරිනවා.නිසි පෝෂණයක් නොලැබෙන විටත් හතලිස් ඇඳිරිය ඇති වීම ඉක්මන් වෙනවා.ඒ වගේම අධික ලුණු, සීනි ,තෙල් සහ කෘතීම රසකාරක සහිත ආහාර ,ගැනීමෙන් වැළකෙන්න ඕනේ.ඒ දේවල් වලින් ඈත් වෙලා විටමින් A සහ C අඩංගු නැවුම් පළතුරු, එළවළු සහ කොළ වර්ග ආහාරයට ගැනීම වැඩි කරන්න.
  2. දුවිල්ලට නිරාවරණය වීම-: ඕනෙම කෙනෙක් නිතරම ගැවසෙන්නේ දුවිලි පිරුණු පරිසරයක නම් ඉක්මණින් ඇස් වල වියලි බවක් ඇති වෙන්නට පුළුවන්.අන්න ඒ නිසාත් හතලිස් ඇඳිරිය ඇති වීම ඉක්මන් වෙනවා.
  3. හෝමෝන වල වෙනස්කම් -: සිදු වීම මැදි වයසට පැමිණෙන විට සිරුරේ සිදු වන හෝමෝන වල වෙනස්කම් වල බලපෑමෙන් මේ තත්වය උදා වෙන්න පුළුවන්..
  4. ඖෂධ වල බලපෑම -: ඇතැම් ඖෂධ වර්ග වල බලපෑම නිසා ඇස් වල තියෙන තෙත සහිත ස්වභාවය නැති වෙලා යන්න පුළුවන්.වේදනා නාශක අධික ලෙස භාවිතා කිරීම සහ මානසික ගැටළු, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග වෙනුවෙන් නිර්දේශ කරන ඇතැම් ඖෂධ වර්ගත් මේ තත්වයට හේතු වෙනවා.
  5. අව් කන්නාඩි නොපැළඳීම -: දැඩි හිරු එලිය දෑස් වලට හානිකර බව හොඳින්ම දැන සිටියත් අව් කණ්නාඩි පළඳින්නට ගොඩක් අය උනන්දුවක් දක්වන්නේ නැහැ.හැබැයි ඒක හොඳ වැඩක් නෙමෙයි.අධික හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගන්න අව් කන්නාඩියක් නිතරම භාවිතා කරන්න.
  6. පරිගණක සහ ජංගම දුරකථන -: වැඩි වෙලාවක් පරිගණක දිහා බලාගෙන ඉන්න එකත් ඇස් වලට හානිදායකයි.ඒ නිසා පරිගණක භාවිතයේදී පළඳින්නට තියෙන කණ්නාඩි දෙකක් භාවිතා කරන්න.ඒ වගේම අඳුරේ ඉදන් මේ තිර දිහා බලාගෙන ඉන්න එක දෙනෙත් වලට හානිදායකයි.අන්න ඒ පුරුද්දත් නතර.
  7. මත්ද්‍රව්‍ය භාවිතය -: දුම්වැටි සහ මත්පැන් භාවිතා කිරීමත් ඔබේ දෙනෙත් වලට හානි කරනවා.ඒ නිසා ඔයා මේ වෙනකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඒ පුරුද්ද නතර කරන්න
  8. අක්ෂි ශල්‍යකර්ම -: අවුරුදු 40ක් වෙන්න කළින් අක්ෂි ශල්‍යකර්මයකට මුහුණ දීලා තියෙනවා නම් මෙම තත්වය ඉක්මණින් ඇති වෙන්න පුළුවන් හතළිස් ඇඳිරියට ප්‍රතිකාර

මෙම හතළිස් ඇඳිරිය සඳහා ප්‍රතිකාර ලෙස මුලිකව සිදුවන්නේ කුඩා දේ ලොකු කර බලන වීදුරු (උත්තල කාච) සහිත කන්නාඩි කූට්ටමක් පැලැඳීමයි. මෙය බොහෝ විට අක්‍ෂි සායන හා ඇස් කණ්ණාඩි විකුණන අක්‍ෂි පරික්‍ෂණ ස්ථානවලින්ද සිදුකර ගත හැකි වෙනවා. වෙළඳ පලේ හා පදික වේදිකාවේද මේ සඳහා අවශ්‍ය කණ්ණාඩි යුගල මිලදී ගත හැකි වුවත් තමන්ගේ ඇසට අවශ්‍ය බලය සහිත කාචය තෝරා ගැනීම ඒ සඳහා සුදුසුකම් ලත් ශිල්පීන්ගෙන් සිදුකර ගැනීම ඉතා වැදගත් වෙනවා.

මීට අමතරව ශල්‍යකර්ම මගින් ඇස තුළ ඇති කාචය ඉවත් කර කෘතිම කාචයක් දැමීම මගින්ද මෙයට කිසියම් ප්‍රතිකර්මයක් සිදුවනු ලබනවා. විශේෂයෙන් ඇසේ සුද ඉවත් කරන ශල්‍ය කර්මයේදී කෘත්‍රිමව යොදනා කාචය මගින් මෙම පෙනීමේ දුර්වලතාවයටද කිසියම් සාධාරණයක් ඉටුකර ගත හැකිවනවා දකින්න පුලුවන්.

හතලිස් ඇඳිරිය හෙවත්, ප්‍රෙස්බියෝපියාව කියන්නෙ වයසත් එක්ක එන ප්‍රශ්නයක්. එය, ඔබේ ඇස තුළ ඇති ස්වාභාවික කාචයේ ක්‍රමයෙන් සිදුවන ගණවීම හා නම්‍යතාවය නැතිවීම නිසා ඇතිවන තත්ත්වයක්. ඔබට මීට පෙර කිසි දිනෙක පෙනීමේ ගැටලුවක් නොතිබුණද ඔබට ප්‍රෙස්බියෝපියාවෙන්නම් බේරීමට නොහැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha