පරිසර හානිය වැළැකීමට විද්වත් කමිටුවක්....

Environment
By Thaya Jan 20, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

මුතුරාජවෙල පරිසර හානිය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමට විද්වත් කමිටුවක් පත් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දෙයි.

කොළඹ දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කවල පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් වන තෙත් අභයභුමියක් වන මුතුරාජවෙළ ගොඩ කරමින් හා එයට අපද්‍රව්‍ය බැහැර කරමින් ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන පාරිසරික විනාශය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කළ යුතු බවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

එක්තරා පුද්ගලයෙක් විසින් සමාගමක් යැයි පවසමින් දැනට මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 700ක් පමණ අත්පත් කර ගෙන සිටීම හා වෙනත් පුද්ගලයින් විසින් ද ඒ අනුව යමින් මුතුරාජවෙළට සිදු කරන විනාශය සුළුපටු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමනිසා එම පුද්ගලයින් විසින් මෙතෙක් මුතුරාජවෙළ තෙත් අභයභූමියට සිදු කර ඇති පරිසර හානිය සම්බන්ධව පූර්ණ අධයයනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ සම්බන්ධව පුළුල් දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී තිබේ.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මුතුරාජවෙළ විනාශ කරමින් සිදු කෙරෙන අනවසර ගොඩ කිරීම් හා අත්පත් කර ගැනීම් සම්බන්ධව පසුගියදා ප්‍රකාශයක් කර තිබිනි.

උන්වහන්සේ පවසා ඇති පරිදිම දැනට යම් පුද්ගලයෙක් විසින් සිදු කර ඇති නීතිවිරෝධී අත්පත් කර ගැනීම් හා ගොඩ කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමින් මුතකුරාජවෙළ සිදුවන විනාශයෙන් බේරා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අදාල වාර්තාවෙන් යෝජනා කරන ලෙසද අමාත්‍යවරයා දන්වා ඇත. මෙම කමිටුව ඉතා කඩිනමින් පත් කළ යුතු යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

මේ අතර අමාත්‍යවරයා මින් මාස කිහිපයකට පෙර මුතුරාජවෙල තෙත් අභයභූමියේ සිදු කෙරෙන නීතිවිරෝධී ක්‍රියා සොයා බැලීම සඳහා එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී පෙනී ගිය කාරණයක් වුයේ පාතාලයේ මැරයින් මෙන්ම ඇතැම් ව්‍යාපාරිකයින් හා රජයේ නිලධාරින් ද මුතුරාජවෙළ විනාශ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

Gallery