ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිලගෙන් අධිකරණයට මෝසමක්
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් මෝසමක් ගොනු කර තිබේ.
එලෙස ගොනු කළ මෝසමක් අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙම මෝසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා මහතා ඉදිරියේ සලකා බැලූ අතර සැකකරු වෙනුවෙන් විවෘත අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පැවසුවේ, ඊයේ (12) දින අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා අවස්ථාවේදී එම කොමිසමේ ඉහළ නිලධාරියෙකු විසින් ඔහුට බලපෑම් එල්ල කළ බවයි.
ජනාධිපති නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සවිස්තරාත්මක කරුණු දැක්වීමට දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙය ඇප ඉල්ලීමක් නොවන බැවින් අදාල කරුණු සලකා බැලීම ස්ථිර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කළ යුතු බවයි.
ඒ අනුව මෙම සිද්ධිය ලබන 19 වැනිදාට යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.